ලොකුම කලා පවුලෙන් ක්ෂේත්‍රයට ආපු කුසුම් පෙරේරා දශක හතරක් ගෙවා ආ මඟ

Mar 09, 2018 09.32am
feature-top
ඔබ රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා විශේෂ කඩඉමකට ඇවිත්?

ඔව්. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු හතළිහක් වෙනවා.
ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වසර හතළිහක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරලා තියෙනව කියලා ආරංචියි.
ඔව්. මාර්තු 10 වැනිදා සවස 5.30ට ටවර්හෝල් රඟහලේ විශේෂ වැඩසටහනක් සංවිධානය කරල තියෙනවා. මෙහිදී තෝරාගත් කලාකරුවන් කිහිපදෙනකුට උපහාර පිදීමටත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඊට අමතරව මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳ මතකාවර්ජනයක් කරන්නත් නාට්‍යයක් පෙන්වන්නත් සූදානමින් ඉන්නවා. එදිනට සහෝදර කලාකරුවෝ සහභාගි වෙනවා. මම ආරාධනා කරනවා මගේ සහෝදර කලාකරුවන්ට සහ ආදරණීය ප්‍රේක්ෂකයන්ට එදිනට එකතු වෙන්න කියලා.

ඔබ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මුල මතක් කරමු?

මම මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ සංගීතා චිත්‍රපටයෙන්. ඒ අවුරුදු 08දී. ඊට පස්සෙ අවුරුදු 11දී මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට පස්සෙ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ ආරම්භ කරපු ගමන් මඟේ ඉඳන් අද වන තුරුම ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. දැනට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු හතළිහ ඉක්මවලා තිබීම සතුටුයි.

ක්ෂේත්‍රයේ දිගු කලක් රැඳී සිටිය නිසා මිහිරි අමිහිරි අත්දැකීම් ගොඩක් ඇති?

මාව මුලින්ම චිත්‍රපටයට තෝරාගත්ත හැටි මුලින්ම කරපු සීන් එක වගේ දේවල් අමතක වෙන්නෙ නෑ. මාව චිත්‍රපටයට තෝරාගත්තෙ සිරිල් පී. අබේරත්න මහත්මයා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ තිමති වීරරත්න මහත්මයා. මම හැමෝමත් එක්ක හරි සුහදව ඉන්න කෙනෙක්. ඒ නිසා ක්ෂේත්‍රයේ අය එක්ක සුහදව වැඩ කරනවා. ඒ නිසා අමිහිරි අත්දැකීම් නම් නැහැ.

ඔබ ලොකු කලා පවුලක එක පුරුකක් නේද?

ඔව්. මගේ පවුල ලොකු කලා පවුලක්. මගේ ආච්චි එල්.කේ. සෝමා කාන්තා, සීයා ටී. විල්බට් පෙරේරා. ඔවුන් දෙදෙනා ටවර්හෝල් යුගයේ ජනප්‍රිය දෙදෙනෙක්. මගේ අම්මා චිත්‍රපට, වේදිකා, නෘත්‍ය ගී ගායිකා සූර්යරාණි පෙරේරා, මාමා වාද්‍ය හා ගායන විශාරද පී. ෂෙල්ටන් පෙරේරා. මගේ මහත්තයා චිත්‍ර ශිල්පියෙක්. මල්ලි සතිශ් පෙරේරා. පසුගිය කාලෙ පුවත්පත් කිහිපයක පළ වුණ සමීක්ෂණයකට අනුව ලංකාවේ ලොකුම කලා පවුලට හිමිකම් කියන්නේ මගේ පවුල කියලත්.

ඔබගේ දරුවන් ක්ෂේත්‍රයට සම්බන්ධ නෑනේ?

මට දූවරු තුන්දෙනෙක් සහ පුතෙක් ඉන්නවා. දුවලා පොඩි කාලෙ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියා. චූටි දුව 2006 වසරෙදි ලලිත් රත්නායක මහත්මයගේ තෙත් සහ වියළි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා හොඳම ළමා නිළියට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත්තා. දැන් ඒගොල්ලො ක්ෂේත්‍රයට එන්න වැඩි කැමැත්තක් නෑ. ඒගොල්ලො රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා.

ඔවුන් රංගන ක්ෂේත්‍රයට පිවිසෙනවාට ඔබ අකැමැතිද?

නෑ මම කැමැතියි ඒගොල්ලො ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරනවා නම්.

ඔබගේ යුගයේ ක්ෂේත්‍රයට පිවිසි අය සහ වර්තමානයේ ක්ෂේත්‍රයට පිවිසෙන අය අතර වෙනසක් ඔබ දකිනවද?

කලින් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න අමාරුයි. ඒත් ක්ෂේත්‍රයට පිවිසෙන අය දිගු කාලයක් ක්ෂේත්‍රයේ රැඳුණා. දැන් ක්ෂේත්‍රයට පිවිසෙන්න පහසුයි. නමුත් පැවැත්මක් නෑ. ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් කැපවීම අවශ්‍යයි. දැන් පරපුරේ දක්ෂයො ඉන්නවා. මම නව පරපුරේ අය එක්ක වැඩ කරනවා. ඒ වගේම ඔවුන්ව ඇසුරු කරනවා.

ඔබ මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ මොනවද?

මම මේ දවස්වල ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කරන ආදර අසපුව ටෙලි නාට්‍යයට සහ අනුරුද්ධ ගාමිණී ආරච්චිගේ දේදුනු වර්ෂා ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

ක්ෂේත්‍රයේ දිගු කාලයක් රැඳුණු ශිල්පිනියක් විදියට අලුතින් ක්ෂේත්‍රයට පිවිසෙන අයට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?

කලාව කැපවීමෙන් සහ උනන්දුවෙන් කරන්න. කලාව හැමෝටම පිහිටන්නෙ නැහැ. ඒක තෑග්ගක්. ඒ නිසා කලාවට ගරු කරලා අපි ඉදිරියට යන්න ඕනෙ. රංගනය වෘත්තියක් විදියට කරනව නම් වෘත්තියට ගරු කරලා කැපවීමෙන් කරන්න කියන පණිවුඩය මම දෙන්න කැමැතියි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »