මේ යන රැල්ලට වැටෙන ගීත මං ගයන්නේ නෑ

Mar 07, 2018 09.47am
feature-top
සෙව්වන්දි දැන් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායිකාවක් ... ?
ප්‍රසංග සඳහා නිතර ඇරයුම් ලැබෙනවා. ඒත් කරන්න බැරි තරම් වැඩ ගොඩක් භාරගන්නේ නැ.. එක දවසට එක ප්‍රසංගයයි භාරගන්නේ.. ආසන්න ප්‍රදේශවල පැවැත්වෙනවා නම් විතරක් දෙකක් භාර ගන්නවා.. ඊට වැඩි ප්‍රමාණයකට නම් යන්නේ නැහැ..

“සිනා මල් ගොඩක් ..” ගීතය ජනප්‍රිය වුණාට සෙව්වන්දි ප්‍රසංග වේදිකාවට එන්නේ නිරංජලා සරෝජනීගේ ගීත තුළින් ..
 බාප්පා (අබේවර්ධන බාලසූරිය) මිය යාමත් එක්ක පුංචි (නිරංජලා සරෝජනී) සම්පූර්ණයෙන්ම ගායනයෙන් දුරස්වුණේ මටයි අනුරාධා අක්කටයි (අනුරාධා නන්දසිරි) පුංචිගේ ගීත ගයන්න අවසර දීලා.. ඊට පස්සේ යම් යම් රූපවාහිනි වැඩ සටහන්වල මම පුංචිගේ ගී ගැයුවා.. ඔය අතරේ දවසක් චරිත් වැලිවත්ත “ප්ලෑෂ් බැග් ලයිව් ඉන් කොන්සට් .” සඳහා ගී ගයන්න මට ආරාධනා කළා. ඒ 2015 දී. එතැන් පටන් මට ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණා.. ඔය විදියටයි මම ප්‍රසංග වේදිකාවට ආවේ .. ප්‍රසංග වේදිකාවේදී මගෙන් ඉල්ලන්නේ පුංචිගේ ගී. ඒත් මේ වනවිට මගේම ගීත 15 ක් විතර තියෙනවා.. මම මගේ ගීතත් ගායනා කරනවා.

*වෙනත් ගායක ගායිකාවන්ගේ ගී ගයන ගායක ගායිකාවන්ට විවිධ ප්‍රතිචාර එල්ලවනවා.. මේ ගැන සෙව්වන්දිගේ අදහස මොකක්ද.. ?

මම නම් පුංචිගේ ගීත ගයන්නේ පුංචිගේ අවසරය මත. ඒ වගේම ඒ අවස්ථාවල මම ගීතයේ මුල් හිමිකාරිය ලෙසට පුංචිගේ නම සිහිපත් කරනවා.. යම් ගායකයෙකු හෝ ගායිකාවකගේ අවසරය මත ඔහුගේ  හෝ ඇගේ ගී ගැයුවාට කමක් නෑ.. ඒ වගේම දැනට ජීවතුන්  අතර නැති හෝ  මේ වනවිට  අසන්නට නොලැබෙන ගී යම් කෙනෙකු ගැයීම නිසා යළි ප්‍රේක්ෂක අවධානයට ලක්වනවා නම් එයත් හොඳයි .නමුත් එසේ ගයන අවස්ථාවල මුල් ගායකයා හෝ ගායිකාවගේ නම සඳහන් කළයුතුයි .

*හැමදාම ප්‍රසංග වේදිකාවේ නිරංජලාගේ ගීත ගයන්නද කල්පනාව. ඔබේම ගීතයක්
ගයන්නට අදහසක් නැද්ද ... ?
මේ වනවිටත් මගේ ගීත තියෙනවා.. ඒත් අද මේ යන රැල්ලට අයිති වන විදියේ ගීත නම් ඒ අතර නැහැ.. මම ගායනය ආරම්භ කළේ හොඳ ගීතයකින්.. මා වටා පසුබිමක් තියෙනවා..
අනික මගේ හඬ ගැළපෙන්නේත් මම ගයන විදියේ ගීතවලට .. මට නව රැල්ලට යන ගී සඳහා
ආරාධනා ලැබිලත් තියෙනවා.. ඒත් මම ඒවා භාරගත්තේ නැහැ..

පවතින නව සංගීත රැලි ගැන සෙව්වන්දි තුළ පැහැදීමක් නැද්ද ... ?
මුදල සහ ප්‍රසිද්ධිය මුල් කරගෙන කරන නිර්මාණ ගැන මගේ පැහැදීමක් නෑ... ඒ විදියේ නිර්මාණවල ගුණාත්මක බවක් තියෙනවාද
කියන එක ප්‍රශ්නයක් ....

*සෙව්වන්දිගේ  කලා දිවියට සැමියාගෙන් ලැබෙන දායකත්වය කෙබඳුද .. ?
නිහාල් ( නිහාල් වික්‍රම එදිරිසූරිය ) සිරස ගුවන් විදුලියේ  අධ්‍යක්ෂවරයෙක්  විදියට කටයුතු කරනවා.. එයා ගොඩක් කාර්ය බහුලයි.. මාත් එක්ක ප්‍රසංගවලට යන්න එන්න ලැබෙන අවස්ථා අඩුයි .. මම විවාහවන විටත් ගායිකාවක්.. නිහාල් කවදාවත් මගේ කලා කටයුතුවලට විරුද්ධ වෙලා නැහැ.. දෙන්නට දෙන්න ගැන වගේම අපි රැඳිල ඉන්න ක්ෂේ්ත්‍ර ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා..

ඔබලාගේ දරුවන් මතු දාක කලා ක්ෂේත්‍රයට යොමු කරන්න අදහසක් නැද්ද.. ?
ලොකු දුව තත්යා පාරින්ද්‍යා උසස් පෙළ හදාරනවා. පුතා යශෝද්ට දැන් වයස 13 යි. දුව සංගීතය හදාරලා තිබුණත් ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනයේ යෙදෙන හින්දා සංගීතයට යොමුවන්න බැහැ.. පුතා නම් ගායනය , නර්තනය , ක්‍රිකට් වැනි අංශ කිහිපයකටම දක්ෂයි.. එයා ඉදියේදී මොන ක්ෂේත්‍රය තෝරාගනීද දන්නේ නැහැ..



උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »