හෙට දවසේ සිනමාවේ හොඳම චිත්‍රපටය

Oct 17, 2017 10.46am
feature-top
පසුගිය දා පැවැති දෙරණ සිනමා සම්මාන උළෙලේ දී 'හෙට දවසේ සිනමාව වෙනුවෙන් සම්මානයක් පිරිනැමූණා. ඒ සම්මානය සඳහා තිරගත නොවූ චිත්‍රපට පහක් තෝරාගනු ලැබුවා. ඒ අතරින් තිරගත නොවූ හොඳම චිත්‍රපටය ලෙස සම්මානනීය වූයේ මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කරනු ලැබූ 'බහුචිතවාදියා 'චිත්‍රපටය යි. තරුණ සිනමාවේදීන් නිර්මාණය කළ තිරගත නොවූ චිත්‍රපට පහක් අතුරින් මාලක ගේ බහුචිතවාදියා චිත්‍රපටය මෙලෙස සම්මානයට පාත්‍රවීම ගැන ඔහු අපිත් සමඟ කතාබහ කළා.

 ලැබුණූ සම්මානය ගැන මාලක හුඟක් සතුටින්...

ඇත්තටම. මගේ චිත්‍රපටය සමඟ සුරංග කටුගම්පලගේ 'පුතෙකුට'චිත්‍රපටයත් දුමින්ද සංජීවගේ 'දිදිසිපත්', දේවින්ද කෝන්ගහගේ 'බවතරණ'චිත්‍රපටයත් ඉන්පසුව ජූඩ් රත්නම්ගේ 'පාරාදීසේ 'චිත්‍රපටත්' දෙරණ සම්මාන උළෙලේ දී ප්‍රදර්ශනය කරනු ලැබුවා. ඒ අතරින් මගේ චිත්‍රපටය හෙට දවසේ සිනමාවේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවා. මේ සමඟම මට මෙහි ඉදිරි ප්‍රදර්ශන කටයුතු වෙනුවෙන් මිලියන 05ක අනුග්‍රහයක් හිමි වුණා. එය මම වගේ කලාකරුවකුට විශාල ශක්තියක්.

 ඔබේ සිනමා ආගමනය ...

මම කුඩා කාලෙ ඉඳලම සිනමාවට ඇලුම් කළා. මගේ ඇරැඹුම කෙටි චිත්‍රපට නිර්මාණයයි. 1998 දී මම 'ලයිෆ් සර්කල් 'කෙටි චිත්‍රපටයත් 'එක්ස්චේන්ජ්' කෙටි චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළා.

එම චිත්‍රපට ඊශ්‍රායලය, නෙදර්ලන්තය ඇමෙරිකාව ජපානය වැනි රටවල් ගණනාවක ප්‍රදර්ශනය කරන්න හැකි වුණා. කොළඹ විශ්ව විද්‍යාලයෙන් අවූට් වුණාට පසුව 2007 දී මට ෆිල්ම් වීඩියෝ නිව් මීඩියා වැඩි දුර හදාරන්න 'භාඩන් වෘකන්බර්ග් 'ශිෂ්‍යත්වය හිමි වුණා.

ඒ වගේම 'සව්ත් ඒෂියන් ෆෙලෝ ෂිප්'එකකුත් ලැබුණා. මේ අධ්‍යාපන කටයුතු වලින් පසුව තමයි මම 'බහුචිතවාදියා 'චිත්‍රපටය නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඒ සඳහා විශාල කාලයක් ගත වුණා.

මේ චිත්‍රපටය නිම කර ගන්න මම ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. හරියට විජය චිත්‍රාගාරය ගිනි ගත්තාවගේ තමයි මගේ ඉදිරියට ඒ ප්‍රශ්න පැමිණු‍නේ. අවසානයේ චිත්‍රපටය පෙන්වන්න ලැබුණා. එදා තරංගනී ශාලාව පිරී ඉතිරී යන තරමට ප්‍රේක්ෂකයින් පැමිණ හිටියා.

මට හුඟක් ලොකු සතුටක් දැනුණා. මේ චිත්‍රපටයට තේමාව වුණේ වර්තමානයේ නාගරික තරුණයා පදනම් කරගත් කතාවක්. මේ ආශ්‍රයෙන් කාලය ගෙවන අපි හැමෝගෙම ජීවිත සම්බන්ධයෙන් මේ චිත්‍රපටය ඔස්සේ විශ්ලේෂණය වෙනවා. මේ චිත්‍රපටයේ කළණ ගුණසේකර, වීණා ජයකොඩි, සමනලී ෆොන්සේකා, දමිතා අබේරත්න, සුලෝචනා,ගීතා අලහකෝන් වැනි ප්‍රවීණ නළුනිළියන් රැසක් රඟපානවා.

ලබන වසරේ මේ චිත්‍රපටය තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අද කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය කරගැනිමේ ගැටලුවට නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් මුහුණ පා තිබෙනවා. ලංකාවේ සිනමා විප්ලවයක් කළ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ 'ස්වරූප' චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා.

එවන් චිත්‍රපට පවා පෙන්වා ගැනීමට විශාල වෙහෙසක් දරන්නට සිදු වී තිබෙනවා. එවන් වකවානුවක අපි වගේ සිනමාකරුවන්ට චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී විශාල දුෂ්කරතාවන්ට මුහුණපාන්න සිදුවේවි කියන බය තිබෙනවා. මේ වෙනුවෙන් වගකිව යුතු අංශ කුමක් හෝ පිළියමක් දියත් කර වාණිජ සිනමාව වගේම කලාත්මක සිනමාවත් රැක ගත යුතු වෙනවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »