ආදර හැන්දෑව - සවීනා දෙනුවන්ට දිලිනිව මුණගස්‌වයි...

Oct 15, 2017 11.53am
feature-top
හැම වෙලාවෙම දගකම් පාන හිතුවක්‌කාර පවන් රොදක්‌ ළග ඔයා හීන් දිය දහරක්‌ වුණා. දගකරන හුළං රැල්ල හැමතැනම විසිරුණ වියළි කොළ අතු කැට කැබිලිති ගෙනත් හීන් දිය රැල්ලට අතාරිද්දී දඟකාරකම් කරපු දරුවකුගේ හිස ආදරයෙන් පිරිමදින අම්මා කෙනෙක්‌ වගේ හීන් දියදහර බිම බලාගෙන හිනාවුණා විතරයි. ඇත්තමයි මට හිතුණා මේ හිත ඉවසන්නයි දරාගන්නයි ඇති තරම් ආදරය දෙන්නයි පුළුවන් එකම කෙනා ඔයා කියලා. කාටත් රහසින් නොවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියන්න තරම් ආදරයක්‌ මගේ හිතට ආව රත්තරං.

කැමරාව ඉදිරියේ ආදරයක්‌ දිනාගන්න නේකවිද දහන්ගැට දාන ඔහු සැබෑ ලෝකයේ සැබෑවටම වාසනාවන්ත පෙම්වතෙක්‌ වෙලා ඉදල දැන් ස්‌වාමි පුරුෂයෙකුත් වෙලා හෙට අනිද්දා පිය වරමත් ලබන්න සූදානම් වෙනවා. ඉතින් තිරයේ ඔබ හිත සනසන දෙනුවන්ගේ හිත සනසන ඔහුගේ ප්‍රේ‍රaම කතාව ආදර හැන්දෑවක සටහන් කරන්න අපි හිතුවා. ඔහු ආව ඇයගේ අතැගිලි අල්ලාගෙනම ආදර හැන්දෑවට.

දෙනුවන්ගේ ලෝකය ඇයගේ ආදරයෙන් හැඩවෙන පසුබිම නිර්මාණය වෙන්නෙ කොහොමද?

එයාව මම පුංචි කාලෙ ඉදලම හදුනනවා. මගේ තාත්ත නීතිඥවරයෙක්‌. එයාගේ තාත්තත් නීතිඥවරයෙක්‌. අපි දෙන්නම මොරටුවේ. මේ හැම දෙයක්‌ම නිසා අපේ පවුල් දෙක කාලයක්‌ තිස්‌සේ හිතවතුන්. අපි කාලයක්‌ තිස්‌සේ හොද යාළුවො විදිහට හිටියේ.

ඒ කියන්නෙ බාලේ බැඳි හාදකමක්‌ද මේ ?

ගොඩක්‌කල් ඉදන් මගේ හිතේ එයා ගැන ආදරයක්‌ තිබුණා. ඒ හැගීම අපේ යාළුකම දුරදිග යැමක්‌නේ. ඉතින් අපි ඉබේම පෙම්වතුන් වුණා. ඒත් ඒ ආදරය ප්‍රකාශ වෙලා අපේ හිත්වල ආදරය සැරිසරන්න පටන් ගන්නේ මම මේ ක්‌ෂේත්‍රයට ආවට පස්‌සේ. සවීනා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තිබුණේ අපේ ගමේම ගෙවල් අවටයි. ඒ දවස්‌වල තමයි අපි දෙන්නට නිතර මුණගැහිලා කතාබහ කරන්න ඉඩ ලැබෙන්නේ. මගේ රංගන දිවියේ අමතක නොවන සිදුවීම් අතරට අපි ආදරයෙන් ළං කරවන්න මුල්වුණ සවීනා ටෙලි නාට්‍ය මගේ මතකයේ රැඳී තියෙනවා.

දෙනුවන් හා දිලිනිගේ පෙම් කතාවට වැඩිහිටියන්ගෙන් බාධක එල්ලවුණේ නැතිද ?

නැහැ. අපි දෙන්නගෙම දෙමව්පියන්ගෙන් ආශිර්වාදය ලැබුණා. ඒ නිසා අපේ ආදර කතාව බොහොම සුන්දර විදිහට ගලාගෙන ගිය එකක්‌ වුණා. අවුරුදු හතරක්‌ විතර පෙම්වතුන් විදිහට ඉදලයි අපි විවාහ වුණේ.

දෙනුවන්ගේ අතගත් ඇය කලාවට සම්බන්ධ කෙනෙක්‌ද ?

ඇය පෞද්ගලික අංශයේ රැකියාව කරන්නේ. නමුත් එයා තමයි මගේ රංගන දිවියේ අවංකම විචාරය මට ලබාදෙන්නේ. යමක්‌ මම සාර්ථකව ඉටු කළොත් එය ඇය අගයනවා වගේම අඩුපාඩුවක්‌ තිබුණොත් එයත් මට පෙන්වා දෙන්නේ එයාම තමයි.

දෙනුවන්ගේ හිත වඩාත් බැදුණ ඇය සතු ගතිගුණ මොනවාද?

එයා හරිම සන්සුන් ඉවසිලිවන්ත කෙනෙක්‌. මම ටිකක්‌ විතර කලබලයිනේ. ඒ හැම කලබල ගතියක්‌ම ඇය සන්සුන් හිතින් ඉවසාගෙන ඉන්නවා.

දෙනුවන්ගෙන් ඇයට හිමිවුණ පළමු තිලිණය මොකක්‌ද?

මම එයාට ටෙඩිබෙයාර් කෙනෙක්‌ දුන්නා. එයා මට ගොඩක්‌ තෑගි දීලා තියෙනවා. ඇඳුම් තමයි එයා මට දීලා තියෙන්නේ.

දවසින් දවස ඉහළ යන දෙනුවන්ගේ ජනප්‍රියත්වය ඇය දකින්නේ කොහොමද?

මම ජනප්‍රිය කෙනෙක්‌ වෙන්න ඉස්‌සරයි අපි හදුනාගත්තේ. මගේ පළමු ජනප්‍රියත්වයේ සිට මේ දක්‌වා ආගමන ඇය දකිනවා. මගේ ජනප්‍රියත්වයේ හා සාර්ථකත්වය පසුපස සිටින සෙවණැල්ල ඇයයි. ඒ නිසා ඇයට මගේ ජනප්‍රියත්වය ගැන අවබෝධයක්‌ තියෙනවා.

තරුණ නළුවෙක්‌ විදිහට දෙනුවන්ට තරුණියන්ගේ ආදරයත් ලැබෙනවා ඇති නේද?

කිසිම වයස්‌ බේදයකින් නැතිව මට රසිකයෝ වගේම රසිකාවියොත් ඉන්නවා. ඒ හැම කෙනකුගේම ආදරය ලැබෙන්නේ මගේ රංගනය නිසයි. ඒ ආදරය ඒ ඇගයීම් මගේ පෞද්ගලික දිවියට බලපෑමක්‌ වෙන විදිහට සිද්ධ වෙන්නේ නැහැ.

තිරයේ දගකාරයා වන දෙනුවන්ගෙන් ගෙදරදී පෙම්බර සැමියාගේ වගකීම් ඉටුවෙන්නෙ කොහොමද?

සැබෑ ජීවිතයේ මම මගෙන් ඉටුවෙන්න තියෙන වගකීම් බොහොම කැමැත්තෙන් ඉටුකරන කෙනෙක්‌. අනිත් ස්‌වාමිපුරුෂයන් වගේම මම ගෙදරට අවශ්‍ය දේවල් සුපර්මාකට්‌ එකට ගිහින් අරගෙන එනවා. අද දවසේ මගේ යුතුකම් ඇය වෙනුවෙන් ඉටුවෙනවා වගේම අපේ ලෝකයට හෙට දවසේ එකතු වෙන අපේ දරුවා වෙනුවෙනුත් මගේ කාලය යොදවන එක තමයි මගේ සතුට. අපි පදිංචි වෙලා ඉන්නේ මගේ බිරිදගේ නිවසේ. ඇයගේ දෙමව්පියන්ගෙන් අපි දෙන්නටම ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. මගේ ගෙදරත් අපි පදිංචි නිවසට ළඟපාතම තියෙන නිසා ඇගේ මව්පියෝ ළග වගේම මගේ දෙමව්පියෝ ළඟත් අපි දෙන්නම කාලය ගෙවනවා.

රගපාන චරිතවලින් වෙනකරල දෙනුවන් කියන පුද්ගලයා, සැමියා, පෙම්වතා මොනවගේ කෙනෙක්‌ද?

මම බොහොම හදවතින්ම වැඩ කරන මනුස්‌සයෙක්‌. පුද්ගලයෙක්‌ විදිහට මම මගේ ජීවිතය වටා සිටින හැම කෙනකුටම සලකනවා. මගේ දෙමව්පියන්ට වගේම ඇගේ දෙමව්පියන්ට හොද පුතෙක්‌, මගේ සොහොයුරියට හොද සොහොයුරෙක්‌, මගේ බිරිදට පෙම්බර සැමියෙක්‌ වෙන්නයි මම හැමවෙලාවෙම උත්සාහ කරන්නේ.




සිළුමිණ පුවත්පත ඇසුරෙනි

More News »