මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී වසරේ හොඳම නැගී එන නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ගයාත්‍රි රාජපක්ෂයි.
Oct 13, 2017 09.50am

මේ සම්මානය නිසා තමන්ට සතුටට පත්වෙන්න හේතු කාරණා ගොඩක් තිබෙනවා කියලයි ගයාත්‍රි පවසන්නේ. ඒ මොනවාද කියලා ඇගෙන්ම දැනගෙන පාඨක  ඔබට කියන්නත් එක්කයි අපි මෙලෙස ගයාත්‍රිව සංවාදයකට එක්කාසු කරගත්තේ. 
 
ගයාත්‍රිට මේ සම්මානය සුවිශේෂීි වෙන්න හේතු ගොඩක් තියෙනවාලු නේද? 
අ‍පොයි ඔව්. මේක මම රංගන ශිල්පිනියක් විදිහට ලබපු මුල්ම සම්මානයනේ. ඒ නිසා මට මේ සම්මානයේ වටිනාකම වැඩියි. 
 
විශ්වාසයක් තිබුණාද මෙදා පාර සුමති සම්මාන උළෙ‍ලේදී කුළුඳුල් සම්මානය දෝතට  ගන්න වරම් ලැබේවි කියලා? 
එහෙම විශ්වාසයක් නොතිබුණාම කියන්න බැහැ. ‘මාද ඔබම විය’ ටෙලි නාට්‍යය වෙනුවෙන් මම කරපු කැපවීමට සුමති සම්මාන උළෙ‍ලේදී නිසි ඇගයීමක් ලැබේවි කියන විශ්වාසය මගේ හිතේ තිබුණා. 
 
ඒ කියන්නේ ඔබට සම්මානය ලැබුණේ නිකම් ආවාට ගියාට රඟපාපු චරිතයක් වෙනුවෙන් නමෛයි කියන එකද? 
අන්න හරි. ඒක මම බොහොම අමාරුවෙන් රඟපාපු චරිතයක්. ඒ චරිතේ රඟාපාන්න ගිහින් මම තව ඩිංගෙන් මුහුදෙත් ගිලෙනවා. 
 
ඒ කොහොමද? 
ඒ එහි එක්තරා දර්ශනයක් තිබුණා මම මුහුදට පනින. ඒ දර්ශනය රූගත කරද්දී මම ඇත්තටම මුහුදේ ගිලෙන්න ගියා. මට මුහුදු වතුර පෙවිලා තියෙද්දී තමයි කව්රුත් කලබලවෙලා මාව ගොඩට ගත්තේ. 
 
ඒ වගේම මේ ටෙලි නාට්‍යය ගැන ගයාත්‍රිට තවත් මිහිරි මතකයකුත් තියෙනවා කියන්නේ ඇත්තද? 
ඔව්. ඒ මතකය තියෙන්නෙ මගේ පුතා ගැන. ටෙලි නාට්‍යය රූගත කරන කා‍ලේ මට මගේ පුතා ලැබෙන්නයි හිටියේ. බඩට මාස හතක් සම්පූර්ණ වෙලා තියෙද්දිත් මම රූගත කිරීම් වලට සහභාගි වුණා. 
 
දැන් රංගනයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ පුතාගේ වැඩ කටයුතු හින්දද? 
ඔව්. පුතාගේ වයස තවම අවුරුද්දයි මාස පහයි. තව අවුරුද්දක් ගතවෙන තුරුවත් පුතාව බලාගෙන ගෙදරට වෙලා ඉන්නයි මගේ කල්පනාව. 
 
විවාහයෙන් පස්සේ රඟපෑම ගැන සැමියාගෙන් පුංචි තහංචියක්වත් වැටුණේ නැද්ද? 
අ‍පොයි නැහැ. දැනටත් මම රඟපාන්න යනවාට සැමියා සහ ගෙදර අය කැමතියි. මගේ තීරණයකට අනුව තමයි මම මේ දිනවල රංගනයෙන් ඈත් වෙලා ඉන්නේ. 
 
ඔබේ රසික රසිකාවියන්ට යළිත් ඔබේ රඟපෑම් පුංචි තිරයෙන් දැකගන්න බැරිවෙන එකක් නැහැ නේද? 
ඒ ගැන සැකයක් තියාගන්න එපා.  
දැනටමත් මම ටෙලිනාට්‍ය 30ක විතර රඟපාලා තියෙනවා. මේ ලැබුණු සම්මානයත් මගේ ඉදිරි ගමනට විශාල ශක්තියක්. ඒ නිසා ඉදිරියටත් මම රංගනය පැත්තෙන් තවත් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. 


(අද දෙරණ ඇසුරෙනි)

Ads here
340 x 60