කූඹියෝ නිසා ගේම්කාරයෙක් වුණු තුමිඳු
Oct 11, 2017 11.57am

තුමිඳු මේ දවස්වල ගේම්කාරයෙක් වෙලාලු නේ?
ඔබ ඔය කියන්නේ "කූඹියෝ" ටෙලිනාට්‍යයේ මම ඉදිරිපත් කරන චරිතය ගැන වෙන්න ඕනෙ. ඇත්තටම අපි ඔය ටෙලිනාට්‍ය නිර්මාණය කරන කාලය තුළ ගේම්කාරයෝ ගැන කතා බහ කළා. අධ්‍යයනය කළා ඉතින් ඒ අධ්‍යයනයත් එක්ක තමයි මම මේ චරිතය වෙනුවෙන් ගේම්කාරයකුට පණ පොවන්නේ. ඒ ඇරෙන්න සාමාන්‍ය ජීවිතයේ නම් මම ගේම්කාරයෙක් නෙවෙයි.

මේ වෙනකොට සමාජ ජාල හරහා වුණත් "කූඹියෝ" වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා නේද?
ඔව්. මේ දවස්වල සමාජ ජාල, යූ ටියුබ් නාළිකා හරහා වුණත් ඇත්තටම හොඳ ප්‍රතිචාර මේ වෙනුවෙන් ලැබෙමින් තියෙනවා. අපිත් බලාපොරොත්තු වුණා ප්‍රේක්ෂකයෝ මේ නිර්මාණයට කැමැති වෙයි කියලා. හැබැයි අපි හිතුවටත් වඩා ප්‍රේක්ෂක පිරිසක් මේ වෙද්දි මේ නාට්‍යයත් එක්ක එකතුවෙලා ඉන්නවා. කොටින්ම අපි භාවිත කරපු සමහර සංකේත භාවිතාවත් අපි හිතුවෙ අපිට විතරක් තේරෙන දේවල් වෙයි කියලා. හැබැයි ඒ පුංචි සංකේත පවා අඳුරගෙන ප්‍රේක්ෂකයෝ මේ වෙනුවෙන් ලබා දෙන ප්‍රතිචාර දැක්කම ඇත්තටම ලොකු සතුටක් හිතට දැනුණා.

කූඹියෝ ටෙලිනාට්‍ය සාමූහික ව්‍යායාමයක්නෙ. ඒ ගැනත් මතක් කළොත්?
මේ නිර්මාණයේ තිරපිටපත ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි කියන මිතුරන් දෙදෙනා එකතු වෙලා තමයි ලියලා තියෙන්නේ. දමිත චන්ද්‍රසිරි කියන්නේ වෘත්තියෙන් සංස්කරණ ශිල්පියෙක්. ලක්මාල් දනුකරත්න වෘත්තියෙන් අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ලක්මාල්ම තමයි මෙහි අධ්‍යක්ෂණයත් සිදු කළේ. ඊට අමතරව කැමරාකරණයෙන් ඇඩම්ස් සහ නිෂ්පාදනයෙන් මගේ සහෝදරයා අසංක ‍ෙදාඩන්තැන්නත් කටයුතු කළා. ඉතින් මේ සියලු දෙනාගේ මූලිකත්වයෙන් තමයි මේ අපූරු ටෙලිනාට්‍ය නිර්මාණය වීම ඇරඹෙන්නේ.

"කූඹියෝ" වෙනුවෙන් ඔබගේ සම්බන්ධ වීම සිදු වුණු ආකාරයත් මතක් කරමු?
ලක්මාල් තමයි මට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන්නෙ. ඇත්තටම මම ඒ වෙලාවේ මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක නිර්මාණයකට සම්බන්ධ වෙන්න පුළුවන් වාතාවරණයක නෙවෙයි හිටියේ. නමුත් මේකෙ පිටපත කියෙව්වට පස්සේ මට ලොකු ආසාවක් ඇතිවුණා මේ නිර්මාණය වෙනුවෙන් දායක වීමට. ඉතින් ඒ විදියට තමයි කූඹියෝ වෙනුවෙන් මම මුලින්ම සම්බන්ධ වෙන්නේ.

ප්‍රධාන චරිතය විදියට මේ තුළ ඔබේ චරිතය වර්ණවත් වෙන්න සහාය නළුවාගෙනුත් හොඳ සහයෝගයක් ලැබිලා තියෙනවා නේද?
ඔව්. කලණ අපිත් එක්ක මේ වැඩේට එකතු වීමත් මේ නිර්මාණයේ සාර්ථකත්වයට ලොකු බලපෑමක් වුණා. මොකද කලණ ගුණසේකර කියන්නේ වේදිකාවෙන් ආපු පුංචි තිරයේ සහ සිනමාවේ ඉතාම අපූරුවට රඟපාන දක්ෂ නළුවෙක්. ඉතින් ඔහුත් එක්ක රඟපාද්දි අපි දෙන්න අතර තිබුණු අනේ‍යාන්‍ය අවබෝධය ගොඩක් මේ නිර්මාණයේ සාර්ථකත්වය වෙනුවෙන් බලපෑවා කියලා මම විශ්වාස කරනවා.

"කූඹියෝ" වැඩ අවසන් වෙන්නේ මීට කාලෙකට කලින්?
ඔව්. මේ නිර්මාණයේ වැඩ අවසන් වෙන්නේ 2014 වර්ෂයේ. නමුත් එතැනින් පස්සෙ අපිට මේක විකාශනය කරන්න කාලයක් බලාගෙන ඉන්න සිදු වුණා. ඉතින් එහෙම ඉද්දි තමයි ධ්ඊව් නාළිකාව මේ අපූරු නිර්මාණය විකාශනය කිරීමට භාරගත්තේ.

කාලයකට කලින් නිර්මාණය වුණු දෙයක් විකාශය වෙන්න කාලයක් ගත වෙද්දි එය ජනතාව අතරට ගෙනෙන එක අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?
මෙහෙමයි. මේකෙ සාකච්ඡා වෙන්නේ මනුෂ්‍ය ජීවිතය සහ මිනිස් හැසිරීම්. ඒ දේවල් පරණ වෙන දේවල් නෙවෙයි කියන අදහස අපිට තිබ්බා. අනිත් අතට මම හිතනවා ටෙලිනාට්‍යයක් එන්න ඕනෙ හොඳම කාලෙක මේ ටෙලිනාට්‍ය ආවේ කියලා. මොකද අපේ රටේ මෙවැනි නිර්මාණාත්මක දේවල් එක්ක බැඳෙන්න බාධා වෙන කාරණා තියෙනවා.

එකපැත්තකින් ඡන්ද වෙන්න පුළුවන්, ක්‍රිකට් මැච් වෙන්න පුළුවන්. අද වෙන කොට මේ දේවල්වලට මිනිසුන්ගේ තියෙන අවධානය ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්ක මට හිතෙනවා හොඳ වෙලාවක තමයි කූඹියෝ විකාශය කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ කියලා.

අපි එදිනෙදා දකින ආදර කතා, පවුලේ කතා කියන ටෙලිනාට්‍ය ආකෘතියට වඩා වෙනස් ආරකට නේද කූඹියෝ නිර්මාණය වෙලා තියෙන්නේ?
ඔව්. ඇත්තටම මේකෙ ආදර කතාවක් නැති තරම්. මේකෙ ප්‍රේමය සම්බන්ධ දෑවලට වඩා තියෙන්නේ මිනිස්සු ජීවත් වීමෙදී ගැටෙන ආකාරය සහ මිනිස්සු මිනිස්සුත් එක්ක ගැටෙන කොට ඇතිවෙන හැඟීම්වල ප්‍රකාශනයක්. එහෙම නැතිව අපි සාමාන්‍යයෙන් ටෙලි විකාශනයේ දකින ආදරය සම්බන්ධ වෙලා එහි වේදනාව හෝ සතුට ගැන කියැවෙන ප්‍රකාශනයන් මේ තුළ නැහැ. හැබැයි ඒ වෙනසට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වෙලා ඇති කියලා මට හිතෙනවා.

ඔබ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් විදියට ලංකාව ඇතුළේ රංගන කලාව හැදෑරීමට තිබෙන ඉඩකඩ ගැන සෑහීමකට පත් වෙනවාද?
රංගනය කර්මාන්තයක් විදියට ගත්තම ලංකාවෙ තියෙන්නේ බොහොම පොඩි කර්මාන්තයක්. එතකොට මේ කුඩා සිනමා හෝ නාට්‍ය කර්මාන්තය ඇතුළේ වැඩ කරද්දි රංගනය හැදෑරීම සඳහා ආයතන වශයෙන් ගොඩක් තැන් ලංකාවේ තියෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමින් තියෙන ආයතන ගැන නම් සෑහීමකට පත් විය හැකියි. ඒ තැන්වල බොහෝම විද්‍යාත්මක වශයෙන් රඟපෑම ගැන සාකච්ඡා වෙනවා. හැබැයි විශ්වවිද්‍යාලවලින් පරිබාහිරව තියෙන ආයතනවල මේ පහසුකම් තියෙනවද කියන කාරණයේදී නම් මට සෑහීමකට පත් වෙන්න බැහැ.

මෑතකදි රිදී තිරයෙන් ඔබව දකින්න ලැබුණෙ නැහැ නේද?
ඔව්, ඇත්තටම මගේ චිත්‍රපට හයක් රිදී තිරයට පැමිණීමට නියමිතව තිබෙනවා. දැනට ඉන් චිත්‍රපට හතරක වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. ඉතාම ආසන්න කාලයේ රූගත කිරීම් අවසන් වුණා යශෝදරා චිත්‍රපටයේ. ඒ වගේම මේ වෙද්දි "නිදහසේ පියා ඩී. එස්." චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා. මම එහි ඩී. එස්. ගේ තරුණ කාලය රඟපානවා. ඊටත් අමතරව බෙනට් රත්නායකගේ "නෙලා" විත්‍රපටය තිරගත වීමට නියමිතයි. ඒ වගේම 2012 දී මම රංගනයෙන් දායක වුණු සුමිත්‍රා පීරිස්ගේ "වෛශ්නාවී" චිත්‍රපටයත් තිරගත වීමට නියමිතව තිබෙනවා.

වේදිකාව පැත්තෙන් තුමිඳු මේ දවස්වල සිදුකරන වැඩකටයුතුත් මතක් කළොත්?
මම පසුගිය දවස්වල රාජිත දිසානායක අධ්‍යක්ෂණය කරපු "ආදර වස්තුව" නාට්‍යයේ නව නිෂ්පාදනයේ රංගනයෙන් දායක වුණා. ඊට අමතරව ප්‍රියංකර රත්නායකගේ "අද වගේ දවසක ඇන්ටිගනී" නාට්‍යයත් වේදිකා ගත වෙනවා.

දැන් පොත් පත් ගැන කතාවෙන කාලයක් නිසා ඔබ අතින් ලියැවුණු කෘති පෙළ ගැනත් සඳහන් කරමු?
ඇත්තටම මගේ අතින් ලියැවිලා තියෙන්නේ ගොඩක්ම නාට්‍ය පොත්. ඉතින් මම කරපු "අරුන්දතී" සහ "සඳ ගිනි අරන්" කියන නාට්‍ය දෙකම නාට්‍ය කෘති විදියට මම පාඨකයන් අතරට ගෙනල්ලා තියෙනවා. ඒ පොත්වල අලුත් මුද්‍රණයක් සඳහා යන්නත් කාලය දැන් හරි. නමුත් ඇත්තටම මට ඒ සඳහා නම් තවම අවස්ථාවක් ලැබුණේ නැහැ.

අවසාන වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැන සඳහන් කළොත්?
ඉදිරියෙදි මම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා මගේ මිත්‍රයා නාමල් ජයසිංහ නිර්මාණය කළ "සහෝදරයා" ටෙලි නාට්‍ය විකාශය වෙනතුරු. ඉතින් ඒකත් ඉදිරියේදි විකාශය වීමට නියමිතයි. මම විශ්වාස කරනවා ඒකත් කූඹියෝ වගේම ප්‍රේක්ෂකයන් අතරට සමීප වේවි කියලා.




(උපුටා ගැනීමක් නොමැත)

Ads here
340 x 60