අප වගේ අයට වෘත්තිය නිළියෝ වෙන්න තවම බැහැ - තාරුකා වනිගසේකර
Oct 11, 2017 11.46am

සුරංග සෙනෙවිරත්න අධ්‍යක්‍ෂණය කළ "කොළඹ අපි ආවා" හි ෂෙරින්ගේ චරිතය තුළින් සහ ජනක චමින්ද අත්තනායක අධ්‍යක්‍ෂණය කළ "භව හරණ" හි කුමී නමැති ගෝත්‍රික තරුණියකගේ චරිතය තුළින් පුංචි තිරයේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර දිනාගත් තාReඛා වනිගසේකර යෞවනයේ දිලෙන තාරුකාවක්‌ බවට පත්ව සිටින්නීය.

ජපානය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටයක රඟපෑමටද වරම් උදාකරගෙන සිටින ඇය තව නොබෝ දිනකින් ජපානයේ සංචාරය කිරීමට නියමිතය.

තාරුකා කලාවට සම්බන්ධ වූ අයුරු ගැන පැවැසුවොත්

මම මුලින්ම 2014 වසරේ ජෝෂප් ජෙරම් අධ්‍යක්‍ෂණය කළ "අමායා" ටෙලි නාට්‍යයේ පුවත්පත් කලාවේදිනියකගේ චරිතය රඟපාමින් කලාවට එක්‌වුණා.

ඒ සඳහා මට අවස්‌ථාව උදාවුණේ මගේ මෝස්‌තර නිරූපණ ඡායාරූප පුවත්පතක පළවී තිබෙනු දැකීමෙන්.

ඊට පස්‌සේ මට සරත් ධර්මසිරිගේ මුතුකුමාරි ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්‌ථාව උදාවුණා. මේ වන විට මම ටෙලි නාට්‍ය දහයකට වැඩි සංඛ්‍යාවක රඟපා තිබෙනවා. ශ්‍රීපාලි හෙට්‌ටිආරච්චි අධ්‍යක්‍ෂණය කරන බ්ලොක්‌ බ්ලාස්‌ටර් චිත්‍රපටයේ සහ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටයකත් රඟපෑමට අවස්‌ථාව ලැබී තියෙනවා.

ජපානයේ රූගත කරන චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද?

ඒ සඳහා මාධ්‍ය මගින් පළකර තිබූ දැන්වීමකට අනුව මම අයදුම් කළා. එහි සම්මුඛ පරීක්‍ෂණවලින් පසු මාව තෝරා ගත්තා. ඉදිරි සති දෙක ඇතුළත රූගත කිරීම් ආරම්භ කරනවා. ඒ සඳහා සති දෙකක්‌ මට ජපානයට යාමට වීසා හිමිවුණා.

කලාවට සම්බන්ධවීමට පෙර ඔබේ තොරතුරු පැවැසුවහොත්,

මම හෙදියක්‌ ලෙසින් සේවය කළා. ඉන් වසර පහක්‌ පමණ ඩුබායිහි පෞද්ගලික රෝහලක සේවය කළා.

රඟපෑමට තියෙන ආශාව නිසා හෙද වෘත්තිය අතහැරියා.

දිගටම කලාව තුළින් ඉදිරියට යන්නද බලාපොරොත්තුව.

මම දැනට මීගමුවේ රූපලාවන්‍යගාරයක්‌ පවත්වාගෙන යනවා. එම ව්‍යාපාරය කරන ගමන් රඟපෑමේ නිරත වෙනවා. මොකද දැන් නිර්මාණය වන බොහෝ ටෙලි නාට්‍යවල නවක නළු නිළියන්ට ලොකු මුදලක්‌ ගෙවන්නේ නැහැ. ඉතිං වෘත්තිය මට්‌ටමින් රඟපෑම කරන්න අප වගේ අයට බැහැ.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60