මම ආදරේ කරපු තුන්දෙනාම අද මගේ හොඳම යාළුවෝ

Sep 23, 2017 10.39am
feature-top
දයාන්... අද ගායන ශිල්පියෙක් වුණාට ඔබ මුලින්ම මිනිසුන් හඳුනාගන්නේ ඡායාරෑප ශිල්පියෙක් විදිහට නේද...?

ගොඩාක් අය හිතුවාට ගායකයාට පෙර ඡායාරෑප ශිල්පියා බිහිවුණා කියලා 1982 නන්දා මාලිනි සංගීත ආශ්‍රමයේ විජයබා මාවතේ ඇගේ නිවසේ ආරම්භ කරනකොට මාත් එහි සාමාජිකයෙක් වුණා. එතකොට අද ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන් එදා අපිත් එක්ක එකම පන්තියේ ශිල්ප හදාරපු අයයි. මම බාත්ඛණ්ෙඩ් ප්‍රථම විභාගය සමත් වුණා. 1985 දී තමයි මම ඡායාරෑප ශිල්පයට එකතු වුණේ. එතෙක් මම අවුරුදු තුනක් සංගීතය නන්දා මාලනීයන් යටතේ ඉගෙන ගත්තා. මාලනී බුලත්සිංහයන්ගේ ‘මියැසියේ’ අත්වැල් ගායනයටත් මම එකතු වුණා. නන්දා මාලනීයන්ගේ ‘ආරාධනා’ ස්වර දැහැනෙත් මම අත්වැල් ගායනයට එකතු වුණා. එහෙම බලද්දී මගේ සංගීත දිවිය ආරම්භ වන්නේ 1982 දී. ඡායාරෑප ශිල්පියෙක් හැටියට වැඩ පටන් ගත්තේ 1985 දී.

කොතනද දයාන්ගේ හැරවුම් ලක්ෂය වුණේ...?

2017-09-21-ent-08මම සංගීතය හදාරණ කාලේදී තමයි ඡායාරෑප කලාවටත් යොමුවුෙණ්. මම මේ කලාවන් දෙකටම ආසයි. හැබැයි 1985 දී මම විවාහ මංගල්‍ය ක්ෂේත්‍රයට යොමුවුණා. එතකොට විවාහ මංගල්‍යයන් එකින් එක මට එද්දී මට ඉස්සර වගේ නිවාඩු පාඩුවක් ලැබුණේ නෑ. මට ක්ලාස් යන්න වෙලාවක් තිබුණේ නෑ. වෙඩින් කරන්න ගත්තාම එකේ ආදායම හොඳයිනේ. ඒ නිසා මට යම්කිසි විදිහට මනුස්සයෙක් වෙන්න නම් මුදල් ටිකක් ඕන කරනවා කියලා මම හිතුවා. අත්වැල් ගායනයේදී ඒ දවස්වල ලැබුණේ සුළු මුදලක්. ඒ කාලේ මම කළෙත් පොඩි රුකියාවක්. මාසයකට මට ලැබුණේ රුපියල් පන්සීයයක් වගේ තමයි.

මොකක්ද දයාන් ඒ කාලේ කරපු රස්සාව...?

එක්තරා පෞද්ගලික ආයතනයක විදුලි කාර්මිකයෙක් විදිහට වැඩ කළා. ඒක තමයි මගේ මුල්ම රස්සාව. මැෂින්වල වැඩකරගෙන මජන් නාගෙන මාස හයක් මම ඒ රුකියාව කළා. ප්‍රින්ටින් වැඩවලටයි, ඡායාරෑප මුද්‍රණයට වගේම ඕෆ්සෙටින් මුද්‍රණයටත් මම ආස කළා. ඒ සම්බන්ධව හිතාගෙන රුකියාවට ආවට ඒ ආයතනයේ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා තමයි කළේ. ප්‍රින්ට් කරන එක සීමා සහිතවයි ප්‍රින්ට් කළේ. ඒත් මට මගේ රුකියාව ගැන කිසිම ආසාවක් තිබුණේ නෑ. අන්තිමට මම ගැන තිබුණ විශ්වාසයට මම වාහන අමතර කොටස් ගබඩාව බාර කළමනාකරු විදිහට උසස් කළා. ඒක මම බොහෝ කාලයක් කරගෙන ගියා. අවසානයේදී ඒ ආයතනයේ අයිතිකාරීගේ දුවගේ වෙඩින් එකේත් ඡායාරෑප ගත්තේ මමයි. අවුරුදු එකොළහක් මම ඒ රුකියාව කළා.

දයාන් කැමරා කාචයෙන් දැක්ක සුවිශේෂීම රුව කාගේද...?

මම වසන්ති චතුරානි රඟපාපු ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය බලලා ඇගේ රංගනයටත් ඇගේ රෑපයටත් හරියට ආස කරපු කෙනෙක්. ඊට පස්සේ වසන්ති බොහෝ චිත්‍රපටවල උඩරට මනමාලියන් විදිහට හැඩ ගැන්වුණා. මංගල ඡායාරෑප ශිල්පියෙක් විදිහට ටිකින් ටික මම ජනප්‍රිය වෙද්දී හැරිස් විජේසිංහ මම හඳුනාගත්තා. ඔහු මගේ ජීවිතයට ලොකු අත්වැලක් වුණා. ඉතින් හැරිස් අයියා ලවා වසන්තිව උඩරට මනමාලියක් හැටියට අන්දවලා පින්තූර ගන්න ලොකු හීනයක් තිබුණා. ඒ වෙද්දී වසන්තිව මම පෞද්ගලිකව හඳුනන්නේ නෑ. අන්තිමට මම කොහොම හරි 1993 සැප්තැම්බර් 21 වැනිදා ඒ අවස්ථාව උදා කරගත්තා. එදා වසන්තිව උඩරට මනාලියක් වගේ අන්දවලා මම ගත්තු ඡායාරෑප තවමත් මගේ ළඟ තියෙනවා.

සමහරු කිව්වා ඔබ වසන්තිට ප්‍රේම කළා කියලත්... ඇත්තද...?

ඕක සමහර මාධ්‍යයෙන් හරි වැරදි විදිහට දීපු දෙයක්. ඇත්තටම මම වසන්තිට එහෙම ප්‍රේම කළේ නෑ. ඒක රසිකත්වය උඩ තිබිච්චි ගෞරව පූර්ව ආසාවක් විතරයි. අනික වසන්ති මට වඩා අවුරුදු දෙකාහමාරක් වැඩිමල් කෙනෙක්. රංගන ශිල්පිනියකට සහ ඒ රුවට තිබුණු ආසාව විතරයි මට තිබුණේ. මගේ ජීවිතේ අමතක නොවුණු සිදුවීම් අතරේ වසන්තිගේ ඡායාරෑපයටත් මුල්තැන හිමිවෙනවා. ඒ විතරක් නෙමේ මගේ ජීවිතේ හරි සුවිශේෂී මතකයක් අතරේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාව ඡායාරෑපයට ගත්තු දවස. අපේ ගෙදර ආව මාලනී අක්කගේ ඡායාරෑපය ගත්තු දවස, ලෝක රෑප රාජිනියක් වූ රෝසි සේනානායක එකල මගේ ස්ටූඩියෝවට ඇවිත් පින්තූර ගත්තු දවස මගේ ජීවිතේ සුවිශේෂී මතකයක් වෙනවා. ඒවා මිල මුදලින් ලැබෙන සතුටට වඩා ගොඩාක් වටිනා සතුටු දිනයක්.

 

අදටත් දයාන්ගේ හිත නතරවෙච්චි කාන්තා රුවක් නැද්ද...?

ජීවිතේ මගේ හිත නතරවෙච්චි තැන තමයි මගේ අම්මා. අදටත් මම බොහෝ කාන්තාවන් දිහා බලන්නේ ඒ අම්මා දුන්නු ස්නේහය හින්දයි. ඒ වගේම මට හරිම ළෙන්ගතු අක්කලා දෙන්නෙකුත් ඉන්නවා. අපේ අම්මා පුදුම විදිහට මට ආදරේ කළා. තාත්තාත් නැතුව අම්මා මාව හැදුවේ. තාත්තා නැතිෙවද්දී අම්මාට ගෙයක් දොරක් තිබ්බේ නෑ. කිසිම දෙයක් තිබ්බේ නෑ. තිබ්බ එකම දේ වාහනය විතරමයි. ඒ වාහනය පදවගෙන අම්මා අපිව උස්මහත් කළේ මැහුම් පන්තියක් දාලයි. අම්මට හොඳට උයන්න පුළුවන්. ඒ නිසා අම්මා මාතලේ කුකරි ක්ලාස් එකක් දැම්මා. සති අන්තවල අම්මා පන්ති කළා. ඒ කාලෙදි මම සින්දු පුරුදු වුණේ ගෙදර නාන කාමරේ. පන්තිවලට ළමයි එන නිසා සාලේ සින්දු කියන්න බෑ... වෙන තැනක් ඇත්තෙත් නෑ. ඒ වගේ සුන්දර මතක මට තිබෙනවා. මගේ අම්මා මාව මේ තැනට ගේන්න හරියට වෙහෙසුණා. දෙන්න පුළුවන් හැම උපරිම සැපක්ම අම්මා මට දුන්නා. මගේ ව්‍යාපාර දියුණු කරන්න ඇය පුදුම මහන්සියක් දැරුවා. අදටත් හැම නෙගිටිව් එකකම අදාළ දිනය හා නම් ලියලා තියෙන්නේ මගේ අම්මා. හිත නවතින තැන කොතැනද ඇහුවොත් අම්මා තරම් මාව බලාගත්තු අම්මා තරම් මගේ හිත කියවපු වෙන ගැහැනු චරිතයක් මේ ලෝකේ මට නැහැ.

ඒ අම්මාගේ අන්තිම හුස්ම පොද යද්දී දයාන් ලංකාවේ හිටියේ නෑ නේද...?

ඔව්... ඒක ඇත්ත... අපේ අම්මා කරපු දේවල් වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන්න මම ගොඩාක් වෙහෙසුණා. ඒ නිසා ඒදේවල් කරලා ඉවර කරන්න මට බැරි වුණා. අපේ අම්මට පිළිකාවක් කියලා දැනගත්තු මොහොතේ මම අම්මගේ කකුල් දෙක ළඟ වාඩිවෙලා ‘අම්මා බයවෙන්න එපා. මම මොන රටක රාජ්ජයක හරි ගෙනිහිල්ලා හරි අම්මව හොඳ කරනවා. මේ හැම දෙයක්ම මම විකුණනවා. මට අම්මව ඕනේ’ කියලා කිව්වා. ඒ වෙලාවේ අම්මා කිව්වේ පුතේ මාව හොඳ කරනවාට වඩා ඔයා ඔයා ගැන බලාගන්න. ඔයා හොඳින් හිටියොත් මට ඒ ඇති කියලයි. අම්මා කොතනකවත් උඹ මගේම පුතා වෙන්නෝනේ කියලා කිව්වේ නෑ. මම හැමවෙලේම කිව්වේ ‘අම්මා වෙනවනම් තව කෙනෙකුට මේ අම්මා වෙන්නෝනේ... නැත්නම් නිවනට යන්න ඕනේ’ කියලා. ඒක තමයි මගේ ප්‍රර්ථනාව වුණේ.

ප්‍රසංගයට යද්දීත් අම්මා දයාන් එක්ක කතා කළාද...?

ඔව්... ප්‍රසංගයට යද්දී මගේ අම්මා මම දිහා බලාගෙන ඉඳලා මාව බදාගෙන තව ගොඩාක් වෙලා මම දිහා බලාගෙන හිනාවෙලා හිටියා. මගේ හිත කිව්වා ඒ තමයි මගේ අම්මාගේ අවසාන හිනාව කියලා. ඒ අවසාන දැක්ම කියලා. මම දැනගෙන හිටියා මට අම්මාව ආයෙමත් දකින්න බැරිවෙනවා කියලා. ඒක අම්මත් දැනන් හිටියා. අම්මට අමාරු වෙද්දී මාව ගෙන්වන්න හදද්දී අම්මගේ එකම ඉල්ලීම වෙලා තිබුණේ ‘මට ආදරේනම් පුතාව ගෙන්වන්න එපා... එයාට සතුටින් ඉන්න දෙන්න’ කියලයි. අම්මා දැනගෙන හිටියා ඒ වෙද්දීත් අම්මයි මායි සමු අරගෙන ඉවරයි කියලා. හොඳට සිහිය තියෙද්දී අම්මා මට හොඳ හිනාවක් දීලා මගෙන් සමු ගත්තා. අදටත් මගේ හිතේ ඇඳෙන්නේ ඒ හිනා වෙච්චි රෑපයයි.

ඔය හිත ආදරේ කරපු ප්‍රේමණීය චරිත දයාන්ගේ හිතේ නැතිවාම නෙවෙයිනේ... නේද...?

ඔව්... ඒක ඇත්ත... ප්‍රේමය මට නුහුරු දෙයක් නෙමේ. මගේ ජීවිතේත් ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවා. මගේ ජීවිතේ ප්‍රේම සම්බන්ධතා තුනක් තිබිලා තියෙනවා. නමුත් ඔවුන් ගැන අද මම කතා කරන්න කැමති නෑ. මගේ අතීතය කියලා අද ඔවුන්ගේ ජීවිත අවුල් කරන්න මට බෑ. අද ඒ අය ආදරණීය බිරින්දෑවරු, ආදරණීය අම්මාවරු. නමුත් අදටත් ඒ තුන්දෙනාම මගේ හොඳ යාළුවෝ. බොහෝ වෙලාවට මට කැමති කෑම බීම පවා ගෙනල්ලා දීලා මම ගැන ඒ අය අදටත් හොයලා බලනවා. ඔවුන් මගේ ජීවිතෙන් ඈත් වුණා කියලා මගේ හිතට අද දුකක් නෑ.
ජීවිතේ තනිකමක් කියලා හිතුණු දවසක් නැද්ද...?
මම හැමවෙලේම හිතුවේ අපි ඉපදෙන්නෙත් තනියම. අපිට ලෙඩක් දුකක් හැඳුනාම අපි ඒක විඳවන්නේත් තනියම. අපේ ජීවිතේ බොහෝ කල් ඔය අත්වැල් තියෙනවා. හැබැයි තමන්ගේ ජීවිතය අරගෙන යන්නෝනෙත් තමන්මයි. අද මම කිසිම දේකදී දුක්වෙන්න ඕන නෑ. අද මට කිසිම බැඳීමක් නෑ. ‘මට දරුවෝ ඉන්නවා නමුත් ඒ අය මට සලකන්නේ නැහැනේ.’ කියන අප්‍රසන්න හැඟීම මට නැහැ. ඒ නිසා අනිත්‍ය මෙනෙහි කරලා මට සතුටු වෙන්න පුළුවන්. අනික තනිකමේ මොකක්දෝ සුන්දරත්වයක් තියෙනවා. අන්තිමට මගේ ප්‍රාණය අතහැරලා යද්දීත් මට දාලා යන්න බැරි කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ. මම වටිනා කියන දේවල් කියලා රුස්කළේ බඩු භාණ්ඩවලින් මේ මගේ පින්තූර ටික විතරයි. මේ ගෙදර මුතු මැණික් රත්තරන් කිසිම දෙයක් නෑ. මම රත්තරන් පළදින්නෙත් නෑ. ඒ නිසා මේ බැඳීම් නැති ජීවිතේ හරි සැහැල්ලුයි. 


සිළුමිණ පුවත්පත ඇසුරෙනි

More News »