වැඩි සද්ද බද්ද නැති ගංගු රොෂානා
Sep 13, 2017 09.44am

මම මේ ෆීල්ඩ් එකට කම්මැලියි

* ගංගු මොකද වැඩි සද්ද බද්ද නැත්තෙ

කොහොමටත් මම ලොකුවට සද්ද බද්ද දාන කෙනෙක්‌ නෙමෙයිනෙ. ඒත් එහෙමයි කියල සද්ද නොදා ඉන්නෙත් නෑ.

* මේ දවස්‌වල පේන්නත් නෑනෙ

ඇයි නැත්තෙ. මේ දවස්‌වල මම රංගනයෙන් දායක වුණ? ලෝකාන්තරයෝ සෙනසුරාදා, ඉරිදා දිනවල රාත්‍රී 8.30ට සියත නාලිකාවෙ විකාශය වෙනවනෙ.

* දැන් ඉස්‌සර වගේ අධ්‍යක්‌ෂවරුන් නිර්මාණවලට කතා කරන්නෙ නැද්ද?

අධ්‍යක්‌ෂවරයෙක්‌ අපිව නිර්මාණයකට දායක කර ගන්නෙ අපි ළඟ අදාළ සුදුසුකම් තිබුණොත්. ඇත්තටම කියනවා නම් මම මේ ෆීල්ඩ් එකේ ටිකක්‌ කම්මැලි චරිතයක්‌. මගේ ඒ නොසැලකිලිමත්කම නිසා ඔවුන්ට මාව හඳුනා ගැනීමේ අපහසුව තමයි මේකට හේතුව.

* රංගනයට සමුදීමේ අදහසක්‌ එහෙම තියෙනවද?

රංගනය කියන උතුම් කටයුත්තට සමුදෙන්න රංගනයේ යෙදුණ ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට බෑ. අනික ඇයි මම එහෙම වෙන්නෙ. මම තාම තරුණයි වැඩිය පේන්න නොහිටියට මට තාම හොඳින්ම රංගනයේ යෙදෙන්න පුළුවන්.

* අලුත් මුහුණු නිසා ගංගුලට දැන් තැනක්‌ නෑ කිව්වොත්

ඒක මම කවදාවත් පිළිගන්න දෙයක්‌ නෙමෙයි. මම ෆීල්ඩ් එකට ආවෙ අවුරුදු 15 න්. ඉතින් අදටත් මම වැඩ කරගෙන යනවනෙ. අලුත් මුහුණුවලින් මට ප්‍රශ්නෙකුත් නෑ. මගෙන් අලුත් මුහුණුවලට ප්‍රශ්නෙකුත් නෑ.

* හැමෝම කියනවා වගේ ඔබත් රංගනයට සීමා පනවා ගත් ශිල්පිනියක්‌ද?

සීමා පනවාගෙන චරිතෙකට සාධාරණයක්‌ ඉටුකරන එක අපහසු දෙයක්‌. මොකද ඔය අනවශ්‍ය සීමා නිසා චරිතය තුළ ජීවත් වෙමින් ප්‍රේක්‌ෂකයාට හරි දේ දෙන්න බැරි වෙනවා කියන තැන තමයි මම ඉන්නෙ.

* නිර්මාණ අතරෙ වැඩිය පේන්න නැති වුණාම ජනප්‍රියත්වය අඩු වෙනවනෙ.

මම නම් පිළිගන්නෙ ඒකෙ අනිත් පැත්ත. හැමදාම හැම නාලිකාවෙම පේන්න ඉන්නවට වඩා අඩුවෙන් පේන්න ඉන්න තරමට ප්‍රේක්‌ෂකයන්ට මාව අලුත්.

* රඟපෑමට ආපු එක අපරාධයක්‌ කියල හිතෙන්නේ නැද්ද?

කොහෙත්ම නෑ. රංගන ශිල්පිනියක්‌ වෙනවා කියන්නෙ ලේසියෙන් කෙනෙකුට හිමිකරගන්න බැරි අවස්‌ථාවක්‌. එවැනි දුර්ලභ අවස්‌ථාවක්‌ මට හිමිවීම ගැන මම ඉන්නෙ ගොඩක්‌ සතුටින්.

* ඒ දවස්‌වල ගත්තු තීරණ වැරදියි කියලා හිතෙන්නෙ නැද්ද?

මම ක්‍ෂේත්‍රයට එන්නෙ නිරූපණ ශිල්පිනියක්‌ විදියට. ඒ කාලේ ජනප්‍රියත්වය කියන එක මම සැහැල්ලුවට ගත්තා. නමුත් පස්‌සෙ කාලෙක මම ඒ ගැන හිතුවා. අද වෙන කොට මම හැමදේම තේරුම් ගනිමින් ඉන්නවා. ඒ තුළ මම ගත්තු හැම තීරණයක්‌ම මගේ යහපතට හේතු වෙලා තියෙනවා.

* ගංගුත් එක්‌ක හිටපු අය නම් ක්‍ෂේත්‍රයේ දිගට හරහට වැඩ නේද?

ඔව්. පුළුවන් අය ඒ විදියට වැඩ කරගෙන ගියාට ප්‍රශ්නයක්‌ නෑනෙ. මේක මගේ හැටි. මට ඉතින් කා එක්‌කවත් තරගයක්‌ නෑනෙ. අවුරුද්දකට එක නිර්මාණයකට තමයි සම්බන්ධ වෙන්නෙ.

* නර්තන හැකියාවට මොකද වුණේ

මුකුත් වුණේ නෑ. ඒ හැකියාවෙන් මම ප්‍රයෝජන ගත්තා. ඒ සම්බන්ධ තරගවලට ඉදිරිපත් වුණා. නර්තන හැකියාව අදටත් මා ළඟ ඉස්‌සර වගේම තියෙනවා.

* ඩාන්සින් ගෲප් එකක්‌ පටන් ගත්තොත් නරකද?

හැමදේම හැමෝටම බෑනෙ. අනික හැමදේම පටලවාගෙනත් බෑ. ඒ හින්දා එහෙම අදහසක්‌ නෑ.

* ළඟදීම ජීවිතේ ලොකු වෙනසක්‌ වෙන්න යනවා කියලත් ආරංචියි.

ඔය අහන්නෙ විවාහය ගැනද? මෙහෙමයි මගේ අම්මගෙ ලොකු බලාපොරොත්තුවක්‌ සහ ඉල්ලීමක්‌ තියෙනවා විවාහ වෙන්න කියලා. ඒ ඉල්ලීම අහක දාන්න බැරි තැනට ඇවිත් මම දැන් ඒ ගැන හිතලා වැඩ කරගෙන යනවා.

* අම්මගෙ වදේට හරි විවාහ වෙන්නෙ කා එක්‌කද කියලත් කියමුකො

මම කවදාහරි විවාහ වෙන්නෙ ගෙදර අය කැමැති කෙනෙකුත් සමඟ. ඒක තමයි මට මගේ පවුල වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ.

* ඔහුත් ක්‍ෂේත්‍රයෙම කෙනෙක්‌ද?

ඒ ගැන විස්‌තර පස්‌සෙ කියන්නම්.

* ගංගු කියන්නෙ කෙළින් කතා කරන චරිතයක්‌ද?

අනිවාර්යයෙන්ම මම ගොඩක්‌ කතාබහ නොකරට කාට වුණත් කියන්න තියෙන දේ පැහැදිලිව නිවැරදිව කෙළින්ම කියන කෙනෙක්‌.

* කෙළින් කතා කරනවා නම් ජීවිතේ ගත්තු වැරදි තීරණ මොනවද කියලා කියන්නකො

මගේ වාසනාවට එහෙම මතක්‌ කරල පසුතැවෙන්න තරම් වැරදි තීරණ මම අරන් නෑ. පුංචි පුංචි වැරදීම් එක්‌ක මම ගත්තු තීරණ හැම එකක්‌ම වගේ අද දවසේ මගේ ජීවිතේ සුබ පැත්තට හැරිලා තියෙන නිසා ඒ ගැන මම සතුටින්.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

    All Stories

Ads here
340 x 60