අරියානා ලැබෙද්දී රජිත තියටර් එකේ අලුත් රඟපෑමක
Sep 12, 2017 09.21am

පුතෙක් බලාපොරොත්තුවෙන් හිටපු රජිතට තවත් දුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න වුණානේ?

ඔව්. මම බලාපොරොත්තුවෙන් හිටියේ පුතෙක්ව. ලැබුණේ දුවෙක්ව. කවුරු ලැබුණත් ඒ අපේ දරුවනේ. ඒ නිසා හරිම සතුටුයි.

දැන් දුවට වයස කීයද?

දැන් දුවට මාසයයි. පසුගිය 2 වැනිදා තමයි දුව ඉපදුණේ.

හිතේ තියාගෙන හිටපු නම දුවට තිබ්බද?

ඔව්. මම හිතාගෙන හිටියේ පුතෙක් ඉපදුණොත් ආර්යන් කියලා නම තියන්න. දුවෙක් ඉපදුණොත් අරියානා කියලා නම තියන්න. ඉතින් 'ආර්යන්' නම තියන්න පුතෙක් ලැබුණේ නෑනේ. ඒ නිසා දුවට අරියානා කියලා නම තිබ්බා.

ඉපදෙන්න ඉන්නේ දුවෙක් කියලා ඩොක්ටර්ස්ලා කියලා තිබ්බනේ. ඇයි එහෙම කියලත් ඉපදෙන්නේ පුතෙක් කියලා හිතුවේ?

ඩොක්ටර් අපිට හිතවත්. එයා දන්නවා මම පුතෙක්ට කැමැත්තෙන් ඉන්නවා කියලා. ස්කෑන් කරලා ඩොක්ටර් කිව්වා ලැබෙන්නේ දුවෙක් කියලා. ඒත් මම හිතුවේ ඩොක්ටර් විහිළුවක් කරලා මාව බයිට් කරනවාද කියලා. අපි පාට දෙකෙන්ම ඇඳුම් ලෑස්ති කරගෙන හිටියේ. ඉතින් ලැබුණේ දුවෙක්. ඉස්සර පවුලකට පුතෙක් ඕනෙ වුණේ තියෙන කුඹුරු ටික භාර දෙන්න නේ. ඒත් ඉතින් අපිට දෙන්න කියලා කුඹුරුත් නෑනේ. ඒ නිසා ලැබිච්ච දුව අපිට හොඳයි.

චූටි දුව ලැබෙද්දී රජිත තියටර් එකෙත් විකට ජවනිකා රඟපෑවා කියන්නේ ඇත්තද?

ඩොක්ටර් අජිත් කියන්නේ ගොඩක් හො¼ද වෛද්‍යවරයෙක්. ඔහු අපිට හරි හිතවත්. බබා ලැබෙන වෙලාවේ මම වයිෆ් ගාව හිටියේ. ඒ වෙලාවේ මම ඩොක්ටර්ටත් විහිළු කර කර හිනා වෙවී හිටියා. තියටර් එකේ හිටිය හතර දෙනාම මාත් එක්ක හිතවත්. ඉතින් විහිළුවෙන් තහළුවෙන් එක එක දේවල් කිය කිය හිටියා.

දුවගේ පෙනුමේ හුරුව ඇන්ඩ්‍රියා වගේද?

චූටි දුව ලොකු දුවගේ කපාපු පළුව. චූටි දුවගේ පෙනුම මම වගේ. කකුලේ ඇඟිලි විතරයි වයිෆ්ගේ වගේ. ඉතින් වයිෆ් දුවගේ ඇඟිලි එයාගේ වගේ කියලා සතුටු වෙනවා.

ලොකු දුව චූටි නංගි පිළිගත්තේ කොහොමද?

මල්ලියෙක් හරි නංගියෙක්ව හරි ගේන්න කියලා ලොකු දුව තමයි වැඩිපුරම ඉල්ලුවේ. චූටි දුව ඉතින් දැන් වැඩිපුරම කරන්නේ කිරි බොන එකයි නිදා ගන්න එකයිනේ. ලොකු දුව ඉතින් කරන්නේ නංගිව අතපත ගාන එක තමයි.

ආදරේ බෙදා ගන්නත් ලොකු දුව උත්සාහ කරනවා ඇති?

ඔව්. චූටි දුව ඉපදුණ ගමන් එයාට නුහුරුයි. බබෙක් ගේනවා කිව්වම නංගි ආපු ගමන් එයත් එක්ක සෙල්ලම් කරයි කියලා තමයි ලොකු දුව හිතුවේ. එත් එහෙම වුණේ නෑනේ. අපි ඉතින් දැන් මොකකට හරි එයාට බනින්න වුණොත් චූටි දුවටත් බනිනවා වගේ පෙන්නලා දෙන්නටම තමයි බනින්නේ. අපි එයාට ආදරේ අඩුවක් දැනෙන්න තියන්නේ නැහැ.

කෙල්ලෝ දෙන්නෙක් හදන එක ලේසි නෑනේ?

අම්මෝ ඔව්. දුවලා දෙන්නෙක් කියන්නේ වගකීමක් තමයි. හැබැයි මගේ දුවලා දෙන්නා එයාගේ අම්මා වගේ වුණොත් මට බරක් දැනෙන එකක් නෑ.

ඇයි එහෙම කියන්නේ?

මගේ වයිෆ් පවුලට ආර්ථික වශයෙනුත් ලොකු හයියක් දෙන ඒ වගේම හොඳ අවබෝධයක් දැනුමක් තියෙන කෙනෙක්. තාත්තාව  Follow නොකර අම්මව  Follow කරන දුවලා දෙන්නෙක් වුණොත් හොඳයි.

දුවලා දෙන්නා රජිත වගේ හැදෙනවාට කැමැති නැද්ද?

මගේ කට තමයි හරි නැත්තේ. මගේ කටෙන් උඩ තියෙන ඇස්, කොණ්ඩේ වගේ දේවල් ලස්සනයි. නහයෙන් පහළ තමයි අවුල් කියලා කියන්නේ. ඒ නිසා නහයෙන් උඩ තියෙන ඇස්, කොණ්ඩේ මං වගේ තිබිලා ඉතිරි දේවල් බිරියගේ වගේ වෙන එක හොඳයි. හැබැයි මගේ පළමුවැනි දුවත් මං වගේ කටකාරයි. මං වගේම අනවශ්‍ය උදවු පදවු කරන්න ගිහින් එයත් බැනුම් අහනවා. ඒ නිසා මම කැමැති දුවලා දෙන්නා එයාගේ අම්මා වගේ වෙනවාට.

දුවලා අනාගතයෙදි නිළියෝ වෙනවට රජිත කැමැතිද?

අනිවාර්යයෙන්ම කැමැතියි. මොකද මට මිනිස්සු ආදරේ කළේ කලාකරුවෙක් නිසා. මම අවුරුදු දහහතක් ජීවත් වෙන්නේ නළුකමෙන්. මේ රැකියාව මට උතුම්. ලෝකේ හැමෝටම මේ රැකියාව කරන්න ලැබෙන්නේ නැහැ. මම නළුවෙක් වීම ගැන ආඩම්බර වෙන කෙනෙක්. මම කැමැතියි මගේ දුවලා ස්වර්ණා මල්ලවආරච්චි වගේ නිළියන් වෙනවාට. එයාලට හැකියාව, පෙනුම, වාසනාව තියෙනවා නම් ඒ තැනට ගේන්න මමත් ශක්තියක් වෙනවා. හැබැයි ඉගෙනීම අතහැරලා නෙවෙයි. මම කැමැතියි නීති සම්බන්ධ රැකියාවක් කරන ගමන් දුවලා කලාවට සම්බන්ධ වෙනවාට.

දුවලා නීතිය සම්බන්ධ රැකියාවලට යොමු කරන්න හීන දකින්නේ ඇයි?

මම නීතිමය පැත්තට සම්බන්ධ දේවල් කරන්න කැමැත්තෙන් හිටියා. හැබැයි මට ඒක කරන්න බැරි වුණා. මට බැරි වුණ දේවල්ම මගේ දුවලා දෙන්නා කරනවාට මම කැමැතියි.

දැන් ආර්යන් කෙනෙක් හදන හීනය අතහැරලා දැම්මාද?

ඒ හීනය අතහැරලා දැම්මේ නැහැ. තව අවුරුදු දෙක තුනක් ගිහින් ආර්යන් කෙනෙක් ගේන්න පුළුවන්ද කියලා බලනවා.

අලුත් වැඩක් එහෙම කළා කියලා ආරංචියි?

ඔව්. මමයි සුරේෂ් ගමගේයි එකතු වෙලා ගීතයක් කළා. ස්විස්, ඉතාලි, ජර්මන් වලදී තමයි ඒ ගීතයේ විෂුවල් එක ෂූට් කළේ. ඒ ගීතය ළඟදීම එළියට එනවා.

ඊට අමතරව කලා කටයුතු පැත්තෙන් මොනවද මේ දවස්වල සිද්ධ වෙන්නේ?

මම රඟපාපු චිත්‍රපට දහයක් විතර තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ගයන්නයි වයන්නයි වැඩසටහනත් ඉදිරිපත් කරනවා. ගායනා වැඩකටයුතුවලටත් සම්බන්ධ වෙනවා.

(මව්බිම පුවත් පත ඇසුරෙනි)

    All Stories

Ads here
340 x 60