අම්මෝ, මම ගොසිප්වලට බයයි
Aug 13, 2017 10.08am

දවසකට කෝල් දාහක්‌ විතර ආවා,
සමහරු ෆේස්‌බුක්‌ එකේ නිවන් සැප ලැබේවා කියලා දාලා තිබුණා
මියුසික්‌ වීඩියෝව ගිය දුර ගැන රිතූ කියයි

තුරුම්පු ආසියා, සසරසේයා නාට්‍ය හින්දා ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

අලුත් ආරාධනා කිහිපයක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?

නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. චුට්‌ටේ රූගත කිරීම් අවසන් වුණා. ඒ එක්‌කම සංජය නිර්මාල්ගේ තුත්තිරි කියලා අලුත් වැඩක්‌ කළා.

ඒ කියන්නේ රිතූ මේ දවස්‌වල කාර්යබහුලයි ?

ටිකක්‌ විතර කාර්යබහුලයි. මම ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා මේ වෙනකම් වැඩ තියෙනවා. මට වැඩ නැතිවෙලා නැහැ.

ජනප්‍රියත්වයත් එක්‌ක හැදෙන දෙයක්‌ තමයි ගොසිප්. රිතූ ඒවාට මුහුණදෙන්නේ කොහොමද?

අම්මෝ මම ගොසිප්වලට නම් හරි බයයි. අදවෙනකොට පත්තරයකට ආටිකල් එකක්‌ දෙන්නත් බයවෙලා තියෙනවා.

ඒ මොකද?

ගොසිප් හින්දා. කලාකාරයෝ කලාව කියන දේ හරියට දන්නේ නැති පිරිසක්‌ ගොසිප් හරහා අපිට හරියට මඩගහනවා. ඉස්‌සර නම් මොකක්‌ හරි ගොසිප් එකක්‌ ගියහම කියනවා ගින්නක්‌ නැතිව දුමක්‌ නගින්නේ නැහැ කියලා. නමුත් අද කාලේ අඩුතරමේ අපිට අපේ සහෝදරයෙක්‌ සමගවත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා තියෙනවා. අපි දිහා බලන්නේම වැරදි ඇහැකින්.

ඒකට හේතුව ?

කිහිපදෙනෙක්‌ කරන වැරදි හින්දා තමයි මෙහෙම වෙන්නේ. අනික ගොඩක්‌ අය පටලවා ගන්නවා රංගන ශිල්පිණියෝ සහ නිරූපිකාවන්ව. මේ අතරෙත් ඉන්නවා නිළියෝ සහ නිරූපිකාවන් කියන ගොඩවලට අයිති නැති පිරිසකුත්. මේ ක්‍ෂේත්‍ර දෙකම හොඳ ක්‍ෂේත්‍ර දෙකක්‌. මම අනන්තවත් දැකලා තියෙනවා ජීවිතේට දැකලා නැති අයට ජනප්‍රිය රංගන ශිල්පිණියෝ කියලා දාලා තියෙනවා. ජීවිතේට මොඩ්ලින්වලින් දැකලා නැති අයට ජනප්‍රිය නිරූපිකාවන් කියලා කියනවා. ෆොටෝ ෂූට්‌ එකක්‌ කරපු පළියට නිරූපිකාවක්‌ වෙන්නත් බැහැ, නාට්‍යයක්‌ රඟපෑව පළියට ජනප්‍රිය නිළියක්‌ වෙන්නත් බැහැ.

ඔබ නවකයන් එක්‌ක තරහාද?

අයියෝ නැහැ. මම නිරූපණය සහ රංගන කියන දෙකම කරලා තියෙනවා. මේක කලාවක්‌. මිනිස්‌සු ගොඩක්‌ ගොසිප්වලට හුරුවෙලා ඉන්නවා. මමත් ගොසිප්වලට හුරුවෙලා. උදේ නැගිට්‌ට ගමන් බලන්නේ ගොසිප් සයිට්‌ බලනවා. මට මොනවා හරි දෙයක්‌ කරලා ඇතිද කියලා.

රෑ නිදාගෙන උදේ නැගිටින්නේ හරි බයෙන් ?

අනිවාර්යයෙන්ම. මොකද ගැහැණු ළමයෙක්‌ විදිහට අනිවාර්යයෙන්ම බයයි. අපි සාමාන්‍ය පවුල්වල ළමයි. අපිට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා. මිනිස්‌සු හිතාගෙන ඉන්නේ අපි වෙනම ලෝකයක ඉන්නවා කියලා. නැහැ අපිත් සාමාන්‍ය මිනිස්‌සු. දෙයක්‌ කරලා නම් බැණුම් ඇහැව්වාට කමක්‌ නැහැ. මොනවත් නොකර කතාන්දර අහන්න බැහැනේ. අදකාලේ වෙන දේවල් කරන්න පත්තරයකට ආටිකල්එකක්‌වත් දෙන්න බයයි. ඒ හින්දා ආටිකල් දෙන්නත් කැමැති නැහැ.

මාධ්‍යයෙන් රිතූට අසාධාරණකම් වෙනවාද?

අසාධාරණයක්‌ සිද්ධවෙලා නැහැ. මම විතරක්‌ නෙමෙයි මේ ක්‍ෂේත්‍රයේ ගොඩක්‌ දෙනෙක්‌ කැමැති නැහැ පත්තරවලට දෙන දේවල් වෙනස්‌කරලා ගොසිප් සයිට්‌වල යනවාට. අපි පත්තරවලට කියපුදේවල් වෙනස්‌ කරලා තමයි ගොසිප් සයිට්‌වලට දාන්නේ.

රිතූගේ මියුසික්‌ වීඩියෝවක්‌ පසුගිය දවස්‌වල ගොඩක්‌ දුර ගියානේද?

මට ආදරය කරපු ගොඩක්‌ දෙනෙක්‌ කතා කරලා ඔය කතාව මගෙන් ඇහැව්වා. ඒක මම කරපු දෙයක්‌ නෙමෙයි. මට අදාළ නෑ. නමුත් මනුස්‌සයෙක්‌ ජීවත්වෙලා ඉන්නැද්දී මනුස්‌සයෙක්‌ව මරන්න බැහැ. හරි කැත විදිහට තමයි ඒ ගොසිප් එක ගිහිං තිබුණේ. මේ වගේ දේවල් පළවුණහම ප්‍රේක්‍ෂකයෝ හිතනවා අපි මේ දේවල් කරනවා කියලා. අන්තිමේ අපිව ගණන් ගන්නේ නැති ගාණට යනවා.

ඒ ගැන රිතූ කලකිරිලාද ඉන්නේ ?

මියුසික්‌ වීඩියෝඑක ඉතාමත් හොඳ වීඩියෝ එකක්‌. මම මීට කලිනුත් කියලා තියෙනවා මියුසික්‌ වීඩියෝවලට සම්බන්ධවෙන්නේ නැහැ කියලා. දිමංකගේ මේ මියුසික්‌ වීඩියෝවට සම්බන්ධවුණේ සමාජයට ලොකු පණිවුඩයක්‌ දෙනවා. දැන් තියෙන අඩනිරුවත් මියුසික්‌ වීඩියෝ කලාවට වෙනස්‌ කරලා ඊට වඩා දෙයක්‌ කරන්න ඕනෑ කියලා හිතුණ නිසයි. අද කාලේ ගැහැණු ළමයෙකුගේ නිරුවතක්‌ නැතිව මියුසික්‌ වීඩියෝවක්‌ හිට්‌කරගන්න බැරිවෙලා තියෙනවා. නමුත් මේ මියුසික්‌ වීඩියෝව හොඳ නිර්මාණයක්‌.

ඒ වුණාට අන්තිමේ ඔබ මියගියා කියලා අන්තර්ජාලයේ පුවත් පළවුණා?

ඇත්තටම ටිකක්‌ බයවුණා. ගොඩක්‌ දෙනෙක්‌ ඒ කතාව විශ්වාස කළේ නැහැ. හැබැයි ඩෙංගු හින්දා සමහරු විශ්වාස කළා. මටත් බයහිතුණා. මටත් එක දවසට දුරකථන ඇමතුම් දහසකට වැඩිය ආවා. මුහුණුපොතේ ගොඩක්‌ දෙනෙක්‌ නිවන් සැප ලැබේවා රිතු කියලා දාලත් තිබුණා. ඒක චුට්‌ටක්‌ බයහිතෙන වැඩක්‌. සමහර වෙලාවට හිතුණා ඇත්තටම මම මැරුණා නම් මේ වගේ තියේවි කියලා. සමහරු අඬාගෙන කතාකළා. තවත් සමහරු බයවෙලා කතා කළා. එවැනි දේවල් දැක්‌කා.

(දිවයින පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60