දිවි රඟ මඬලෙන් සමුගත් දීපාල්

Jan 25, 2017 09.46am
feature-top
ජනප්‍රිය ගායක දීපාල් සිල්වා පසුගිය දා අප අතරින් වියෝ වුණේ කවුරුත් නොහිතපු මොහොතකයි. ඒ ඔහු රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටිය දියි. මිය යන විට දීපාල් ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ගායන ශිල්පියෙක් ලෙස රසික හදවත් දිනාගන්නට සමත් වූ ශිල්පියෙක් වූවා.

එමෙන්ම ඔහු රංගන ශිල්පියෙක් ලෙසත් වේදිකා නාට්‍ය සහ චිත්‍රපට සඳහා තම රංගන දායකත්වය ලබා දුන්නා. ඒ අතර ඔහු ප්‍රවීණ රංගන ශිල්පී නිහාල් සිල්වාගේ අභාවයෙන් පසුව ‘සාජන්ට් නල්ල තම්බි‘ චරිතය ද රඟපාමින් ප්‍රේක්ෂක හදවත් දිනාගනු ලැබුවා. ඔහු අසනීප තත්ත්වයෙන් යුතුව මීට පෙරත් ප්‍රථිකාර ලබා සුව වූ පුවත පසුගිය දිනෙක තරු තොරතුරු ඔස්සේ ඔබ වෙත අප ගෙන ආවා.

එහෙත් නොසිතූ ලෙස සිදුවූ දීපාල්ගේ වියෝව ඔහුගේ රසිකයනට දුක් මුසු පුවතක්. 1990 වසරේ දී කලාලොවට එක් වූ දිපාල් ප්‍රසංග වේදිකාවේත් පොදු රසිකයා අතරත් ජනප්‍රිය වූයේ පොඩි ළමයා ‘ යන අන්වර්ථ නාමයෙන්.

‘ඒ රටේ මිනිස්සූ ....‘,‘මදුරුවන්ට පුරුදු කරමු...‘, ‘අද නොකර කතා...‘ වැනි ජනප්‍රිය ගීත කිහිපයකින්ම රසිකයන් අතර කතාබහට ලක් වූ දීපාල් මිය යන්නට හේතුව ඉතා කෙටි කාලයක් තුළ උත්සන්න වූ රෝග තත්ත්වයක් බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දා ඔහුගේ අවසන් කටයුතු පිළපිටිය සුසාන භූමියේ දී සිදු කරනු ලැබූ අතර 1967 වසරේ උපත ලැබූ මේ කලාකරුවා මිය යන විට 50 වැනි වියේ පසු වූවා. ප්‍රහසන ගීතයෙන් හා ප්‍රහසන රංගනයෙන් රසික සිත් සැනැහූ ගායකයාණෙනි ඔබට නිවන්සුව!

ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »