මම කැමැතිම මාවම අඳින්න
Jan 11, 2017 09.28am

ඇය පුංචි තිරයේ නම් මලීගේ අත්තම්මාය. වේදිකාවේ නම් ලෝරන්ස්ගේ මනමාලිය. ඒ හැරුණු විට තවත් ටෙලිනාට්‍ය චරිත සහ චිත‍්‍රපට චරිත රාශියකින් ඔබ හමුවට එන කටකාර දඟකාර ඇය ඔබ හොඳින්ම දන්නා හඳුනන දුලීකා මාරපනය.

එහෙත් මේ ඔබට හඳුන්වා දෙන්නට යන්නේ දුලීකා මාරපන නම් නිළිය නොවේ. එනමින් යුත් චිත‍්‍ර ශිල්පිනියයි.

මම මුලින්ම ඇන්දෙ බිතු සිතුවම්, දන්නවද?

එතකොට මගෙ වයස අවුරුදු දෙකයි. කුස්සියෙන් අඟුරු කෑල්ලක් අරගෙන සුදු පාට බිත්ති පුරා කැතට කැතේ ඇඳපු චිත‍්‍ර තමයි ඒ බිතු සිතුවම් කිව්වෙ.

හැබැයි කිසිම දවසක අම්මවත් තාත්තාවත් ගෙදර වෙන කිසිකෙනෙක්වත් මට කිව්වෙ නැහැ බිතුසිතුවම් අඳින්න එපා කියලා. ඒ හින්ද මම ගෙදර තිබුණු තරම් බිත්තිවල එක එක බලි ඇඳලා ඒ බිත්ති කැතම කැත කළා.

මම ස්කෝලෙ ගියා. ඒ කෑගල්ලෙ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට. පහළ බාලාංශ පංතියෙ ඉගෙනගන්න දවස්වල එක දවසක් අපේ පංතියෙ ටීචර් හිටියෙ නැහැ. ඉතින් මම කලූ ලෑල්ල ළඟට ගිහින් සුදුපාට හුණු කූරක් අරගෙන චිත‍්‍රයක් අඳින්න පටන්ගත්තා. එදා මම ඇන්ඳෙ කාවද දන්නවද? මනමාල ජෝඩුවක්.

මේ මනමාල ජෝඩුව මං ඇන්ඳෙ කෝටු කකුල් කෝටු අතපයවලින් නෙමෙයි. ඔය පුංචි කාලෙ චිත‍්‍ර අඳින්නෙ කෝටු අතපයවලට වෙස්මූණු වගේ මූණු දාලනෙ. හැබැයි මගෙ චිත‍්‍ර එහෙම නැහැ. මම මේ මනමාලිටත් මාල හතක් දැම්මා ලස්සන ඔසරියක් ඇන්ඳා. ලොකු කොණ්ඩයක් බැන්ඳා. ඒ කොණ්ඩෙට ලස්සනට මල් ගැහුවා. ඒ විතරක් නෙමේ මල් පොකුරකුත් අතට දුන්නා.

ලෝරන්ස්ගේ මනමාලි වගේද. මම දුලිකාට බාධා කරමි.

ඒ මොන මනමාලියෙක් ද අනේ මෙයානෙ මනමාලි. මම මේ මනමාලිව ඇඳලා එයාගෙ තනියට ලස්සන මනමාලයකුත් අඳින්න පටන්ගත්තා. නැත්නම් මනමාලිට පව්නෙ. ඔන්න ඔය වෙලාවෙ මගේ පංති භාර ටීචර් පන්තියට ඇවිත්. මම දන්නෙ නැහැ. මම මනමාලිගෙ තනියට මනමාලයව අඳිනවා. එක පාරටම පංතියෙ ළමයි ටික හිනාවෙන්න පටන්ගත්තා. මම හිතුවෙ මුං හිනාවෙන්නෙ මට කියලා. මං පස්ස හැරිල බලද්දි, මෙන්න ටීචර්, මම හුණු කූර මේසෙ උඩට අතඇරලා පංතියට දිව්වා. ලෑල්ලෙ ඉන්නෙ මනමාලි විතරයි. මනමාලයට තියෙන්නෙ මූණ විතරයි. අඩුගානෙ මනමාලිගෙ අතින් අල්ලන්න අතක්වත් නෑ. පව් මොනව කරන්නද ඉතිං මනමාලයට අතක් දෙන්න කලින් ටීචර් ආවනෙ. ඊට පස්සෙ මේ ටීචර් අල්ලපු පංතියෙ මිස්ට කතාකළා. ඊට එහා පංතියෙ මිස්ටත් කතා කළා. තව ළමයෙක් අතේ පණිවිඩයක් යවලා ප‍්‍රින්සිපල් මැඩම්වත් ගෙන්නුවා. හැමෝම එකතුවෙලා මගෙ චිත‍්‍රය දිහා බලාගෙන ඉන්නවා.

‘‘කව්ද ඇන්ඳෙ?’’

ප‍්‍රින්සිපල් මැඩම් ඇහුවා.

මාව ගැස්සුණා. මට හිතුනෙම ප‍්‍රින්සිපල් මැඩම් මට දඬුවම් කරයි කියලා... පුංචිකමට ද මනමාලියො අඳින්නෙ කියලා ඇහුවොත් මං මොකද්ද කියන්නෙ... මම මනමාලි වෙන්න තව කොච්චර කාලයක් තියෙනවද?

‘‘දුලිකා එන්න’’

මගෙ පංතිභාර ටීචර් මට කතාකළා. මං ගැහි ගැහි ටීචර් ළඟට ගියේ.

‘‘මෙන්න මේ දුව මැඩම්’’ ටීචර් කිව්වෙ මගෙ ඔලූව අතගාලා.

‘‘ප‍්‍රින්සිපල් මැඩම්ගෙ ඇස් දෙක නළලට ගියා. එයා මගෙ දිහා බලන් හිටියෙ බයවෙලා වගේ.’’

‘‘මේ පොඩි එකා.. මෙච්චර ලස්සන චිත‍්‍රයක් ඇන්ඳා’’

‘‘ඔව් මැඩම්... මං එනකොට මෙයා මේක ඇඳ ඇඳ හිටියෙ. මාව දැකපු ගමන් ලැජ්ජා හිතිලා පංතියට දිව්වා.

‘‘පුතේ ඔයා බොහොම හොඳ ළමයෙක්. මේ චිත‍්‍රය බොහොම ලස්සනයි.’’

ප‍්‍රින්සිපල් මැඩම් මගෙ ඔලූවට අත තියලා හිනාවෙලා කිව්වා. චිත‍්‍ර තරග එහෙම තියෙනකොට මේ ළමයගෙ චිත‍්‍රත් ඉදිරිපත් කරන්න.. මේ ළමයාට ප්ලේස් හම්බවෙනවා ෂුවර්එකටම’‘

ප‍්‍රින්සිපල් මැඩම් එහෙම කිව්වෙ මගෙ පංතිය භාර මිස්ට.

එදා ඉඳලා මං තමයි ස්කෝලෙම දක්ෂම චිත‍්‍රකාරි.. තරගෙකට දැම්මොත් තැනක් ෂුවර්.. එතකොට තෑගිත් හම්බවෙනවනෙ. ඉතිං මට හරි ආසයි. අවුරුද්දකට තරග තුන හතරකට නම් චිත‍්‍ර දානවමයි. ජපානෙ තිබුණු තරගෙකටත් මං චිත‍්‍ර යැව්වා... දන්නවද ඒකෙත් ප්ලේස් එකක් මට හම්බවුණා.

හැබැයි මේ චිත‍්‍ර ඇඳිල්ල මට පාඩුවුණු වෙලාවලූත් තිබුණා. විභාගවලදී යාලූවො හැමෝටම චිත‍්‍ර ඇඳලා දෙන්නෙ මම.. එක එක්කෙනා කොලේ එවනවා. මම චිත‍්‍ර ඇඳලා දෙනවා. අන්තිමේදී මගෙ චිත‍්‍රයෙ තියෙන්නෙ භාගයයි. හුඟාක් වෙලාවට පාට නෑ. පාට දාගන්න වෙලාවක් තියෙන්නෙම නෑ.

අන්තිමේදි මගෙ යාලූවො චිත‍්‍රවලට ලකුණු සීයම ගනිද්දි මට තියෙන්නෙ පනහයි නැත්නම් හැටයි හැබැයි සාමාන්‍ය පෙළ විභාගෙදි නම් මට චිත‍්‍රවලට විශිෂ්ට සම්මානයක් හම්බවුණා. මොකද ඒ විභාගෙට වෙන අයගෙ චිත‍්‍ර ඇඳලා දෙන්න පුළුවන්කමක් තිබුණෙ නැති නිසා.

ඊට පස්සෙ මං උසස් පෙළ පන්තියට ගියා. එතකොටත් මගෙ එක විෂයක් වුණේ චිත‍්‍ර. ඔය කාලෙ මට හම්බවුණා ෂෝක් සර් කෙනෙක්. මෙයා හෝමාගම පැත්තෙ පදිංචිවෙලා හිටියෙ. ඉගැන්නුවෙ දැදිගම කොටවෙහෙර ස්කෝලෙ. ඉරිදට සර්ට නිවාඩු වුණාට එදාටත් සර් ගෙදර හිටියෙ නැහැ. එයා අපිට පංතියක් දාලා චිත‍්‍ර ඉගැන්නුවා. හවසට සංගීතෙත් ඉගැන්නුවා. හැබැයි කවදාවත් අපෙන් ශත පහක් වත් අරගත්තෙ නැහැ. මේ සර්ගෙ නම බණ්ඩාර. ඒ කාලෙත් අවුරුදු පනහක් විතර වයස ඇති. මේ සර්ට තිබුණෙ පුදුම දැනුමක්. දේශපාලනය ගැන රටේ ලෝකෙ සිදුවීම් ගැන විතරක් නෙමෙයි මනුස්සකම ගැන පවා හොඳ අවබෝධයක් තිබුණා. කොටින්ම එයා මිනිස් රූපවලත් අමුතු ගුණාත්මක බවක් දැක්කා. ඒ දැක්ම මට හරිම වැදගත් වුණා.

‘‘ළමයි විභාගෙට ලියනකොට අනුන්ගෙ උත්තර ලියන්න එපා. තමන්ගෙ උත්තර ලියන්න.’’

මේ සර් හැමදාම අපිට කිව්වෙ එහෙම. මම උසස් පෙළ විභාගෙ හැම විෂයකටම විශිෂ්ට සම්මාන ගත්තෙ මේ සර්ට පින්සිද්ධ වෙන්න.

ඊට පස්සෙ ඔබ සරසවියටත් ගියානේද? ඒ කාලෙත් ඔබ චිත‍්‍ර අතැරියෙ නැද්ද? මම දුලිකාගේ නොනවතින කතාවට මද විරාමයක් තබමි.

ඔව් මම ගියේ කැලණි විශ්ව විද්‍යාලයට. හැබැයි ඒ කාලෙ විශ්වවිද්‍යාලෙ චිත‍්‍ර ඉගැන්නුවෙ නෑ ගුරුවරයෙක් නැතුව. ඒ නිසා මට සිද්ධ වුණා චිත‍්‍ර වෙනුවට වෙන විෂයක් තෝරගන්න. මම තෝරගත්තෙ නාට්‍ය හා රංග කලාව.

ඒ වුණත් මට චිත‍්‍ර නොඇඳ ඉන්න බැරිවුණා. මොකද දන්නවද මට මගෙ වියදම් හොයාගන්න ඕනෙ වුණා. මම දෙපාරක් හිතන්නෙ නැතුව චිත‍්‍රයක් ඇන්ඳා. ඊට පස්සෙ මේක ෆේ‍්‍රම් කළා. විකුණන්න තිබ්බා. මේ චිත‍්‍රයෙන් මට රුපියල් පහළොස්දාහක් හම්බවුණා. ඒ කාලෙ රුපියල් පහළොස් දාහකින් මාස හයක වියදම් පිරිමහගන්න පුළුවනි...

ඒ රුපියල් පහළොස්දාහට විකිණුනු චිත‍්‍රය මතකද? මම යළිත් දුලිකාට බාධා කරමි.

සොරි අනේ ඒක නම් මට හරියටම මතක නෑ. හැබැයි මම ඇන්ඳෙ මිනිස් රූප තමා. මොකද මම වැඩියෙන්ම අඳින්නෙ ගෑනු මිනිස්සු. මේ ගෑනු රූප හරිම ලස්සන විදිහට නිර්මාණය කරන්න මට පුළුවනි. හැබැයි සමහර ගෑනුන්ගෙ ඇස් ලොකුයි මූණට වැඩියෙ. මම කැමති ඒවගේ අපි සාමාන්‍යයෙන් දකින විදිහට වැඩියෙ වෙනසක් තියෙන චිත‍්‍රයක් නිර්මාණය කරන්න.

චිත‍්‍ර ශිල්පිනියන් වූ විට ඔවුන් පොත්පත්වලට ද චිත‍්‍ර අඳිති. අද ලංකාවේ නමක් දිනාගත් බොහෝ චිත‍්‍ර ශිල්පිනියෝ එක්කෝ පොත් කවර නිර්මාණය කරති. එක්කෝ චිත‍්‍ර කතා අඳිති. දුලිකාත් එහෙමදැයි මම ඇගෙන් අසමි.

මෙහෙමයි මම අඳින හුඟාක් චිත‍්‍ර පැරඩයිස් රෝඞ් එකේ විකුණනවා. ඒකෙන් මට හොඳ ආදායමක් ලැබෙනවා. හැබැයි ඔය අතරෙ මම පොතකටත් චිත‍්‍ර ඇන්ඳා. ඒ සඳ දිය කියන කවි පොතකට.

දුලිකා ඔබ වැඩියෙන්ම අඳින්න කැමති චිත‍්‍රයක් ඇති... ඒ සොබා දහම ද පරිසරය ද සත්තු ද එහෙම නැත්නම්?

මමද?... මම කැමතිම දුලිකා මාරපනව අඳින්න...

දුලිකා මහා සද්දෙට සිනාසෙයි.

එහෙම නම් මට ඔයා ඇඳපු ඔයාගෙ චිත‍්‍රයක් එවන්න.. එතකොට ෆොටෝ එක වෙනුවට මම ඒ චිත‍්‍රය පාවිච්චි කරන්නම්.

මම දුලිකාට යෝජනා කරමි.

දුලීකා නැවතත් සිනාසෙයි.

මමද ඒ සිනාවට එකතුවෙමි.


(ලංකාදීප පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60