හැමෝම බයිට් කරන පේෂල ඇඬුවෙ ඇයි?
Jan 11, 2017 09.16am

“ලොවෙන් කෙනෙකු එක් දේකට වෙයි සමත” මේ පැරණි කියමනක්, එහෙත් ඒ කියමනට හාත්පසින් වෙනස් වූ චරිතයක් මෙවර රැල්ලට හසුවුණා. ගායකයෙකු යම් තරමින් හෝ වාදනයට දක්ෂතාවක් දක්වනවා. වාදකයාටද බොහෝ දුරට ගායන හැකියාවක් තියෙනවා. ඒත් ගායනය හා වාදනය යන අංශ දෙකටම දක්ෂයෙක් වීම ඇතැමෙක් ලබන භාග්‍යයක් සහ වාසනාවක්.

එපමණක් නොවේ කඩවසම් සිරුරකටත් හිමිකම් කීමට වාසනාවක් තිබිය යුතුයි. ඒ සියල්ල සතු කඩවසම් තරුණයා අද නිවේදන වෘත්තියේද කැපී පෙනෙන දක්ෂතාවක් දක්වනවා. ප්‍රේක්ෂක ආදරය සහ ප්‍රතිචාර ඉහළ ලෙස ලබමින් ගායනය, වාදනය හා නිවේදන කටයුතුවලින් ඉදිරියට යන ඔහු තමයි පේෂල මනෝජ්.

 

මුලින්ම ළමා කාලය ගතවුණු විදිය ගැන කතා කරමුද?

2017-01-09-ent-39ඒ කාලෙ ඉතින් හරිම සුන්දරයි. සාමාන්‍ය විදියට හොඳින් ගතවුණා. ඉගෙන ගත්තා. පාසල් ගියා. දහම් පාසල් ගියා. ටියුෂන් ගියා. සෙල්ලම් කළා. ඒවත් එක්ක තමයි ළමා කාලය ගතවුණේ.

 

එතකොට පාසල් කාලය?

මම පාසල් ගියෙ මුලින්ම දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට. පසුව බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයට ගියෙ ්රැඛ දක්වා. ඉතින් ඒ කාලෙත් හරි සුන්දර විදියට ගතවුණා.

 

ඉතින් ඒ කාලෙ කරපු දඟවැඩ ටිකක් එහෙම මතක් කරමුද?

ඒ කාලෙ ඉතින් කරපු දඟම වැඬේ තමයි ඉස්කෝලෙ වෙලාවෙදී පනින එක. ඒ වගේම යාළුවොත් එක්ක ගහගන්නවා. තරහවෙනවා. ඒ හැමදේම ඉතින් හරි සුන්දර මතකයන් තමයි.

 

ඒ වගේ අවස්ථාවන්වලදී පාසලේ ප්‍රින්සිපල්ගෙන් ගුරුවරුන්ගෙන් ගුටි කාලා තියෙනවද?

අම්මෝ ඔව්, හොඳට ගුටිකාලා තියෙනවා. සමහර දවස්වලට ඉස්කෝලෙ වහල උඩට නැඟලා ඒ වගේම පන්තිවල සින්දු කියලා සර්ලා නැතිවෙලාවට අම්බානෙට දඟලලා ගහගෙන ඒ වගේ වෙලාවල හොඳට ගුටිකාලා තියෙනවා.

 

ඒ කාලෙ යාළුවො එක්ක ගෑනු ළමයිගෙ ඉස්කෝල පැත්තෙ එහෙම යන්නෙ නැද්ද?

ඒ කාලෙ ගෑනු ළමයි පස්සෙන් යන එකක් අපේ තිබුණෙ නෑ. විහිළු කරන ඒවා තිබුණා. ඒ දේවල් නිසා ගෑනු ළමයි අපිත් එක්ක හරි තරහයි. මොකද අපි බයිට් කරනවනෙ. ඒ නිසා අපිට කැමති නෑ කව්රුත්.

 

ඒ කියන්නෙ දැන් වගේම ඒ කාලෙත් බයිට් කරන්න දක්ෂයිද?

ඔව් ඔව් ඒවට දක්ෂයි.

 

පේෂල ඉස්සෙල්ලම ගෑනු ළමයෙක්ගෙන් යාළුවෙන්න ඇහුවෙ අවුරුදු කීයෙදිද?

්රැඛ කරද්දී තමයි ඉතින්

 

කොහොමද ඒ ආදරේ ප්‍රකාශ කළේ?

ඒ දවස්වල අපිට වැඩිය ගට්ස් නෑනෙ ගෑනු ළමයෙක්ගෙන් යාළුවෙන්න අහන්න. යාළුවො මාර්ගයෙන් තමයි ඒ ආදරේ ප්‍රකාශ කළේ.

 

ඉතින් ඒ ආදරේට මොකද වුණේ?

අනිත් ඒවා වගේම ඉතින් ඒකත් චක බ්ලාස්ට්. ඒවා එහෙම තමයි.

 

එතකොට දැන් පේෂලට ගෑනු ළමයින්ගෙන් ප්‍රේම ආරාධනා ගොඩක් එනවා ඇති නේද?

ඔව්, ඒවා තියෙනවා දැන් ඒ ආකර්ෂණය තියෙන කාලෙනෙ. ඒවා ඉතින් ටික කාලයයි. අපි ඒවගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඕනෑ නෑනෙ. මගේ අරමුණ වෙන්නෙ ගෑනු ළමයි නෙමෙයි. මොනවා හරි හොඳ වැඩ ටිකක් කරන එක තමයි මගේ අරමුණ.

 

දැන් විවාහය ගැන හිතන්න සුදුසු කාලය කියලා හිතෙන්නේ නැද්ද?

හිතෙනවා. එහෙමයි කියලා මට බඳින්න හිතෙන්නෙ නෑ අනේ. මගේ වැඩ ටික කරගෙන යනවා. ඉදිරියෙදි බලමු. මොනවා කරන්නත් වෙලාව එන්න ඕනෑ නේ.

 

පේෂල කලාවට සම්බන්ධ වුණු විදිය ගැන කතා කරමුද?

මම පොඩි කාලෙ ඉඳන්ම සංගීතයට ගොඩක්ම කැමැතියි. අපේ ගෙවල්වලත් තාත්තලා එහෙමත් සංගීතයට ගොඩක් කැමැතියි. ඒ නිසා ඒ කාලෙත් සංගීතය ගොඩක් රසවින්දා. ඉතින් ඒ සඳහා නැඹුරුවෙලා හිටියෙත් ඒ නිසාම තමයි.

 

සංගීතය ඉගෙන ගත්තෙ කාගෙන්ද?

මම සරසවිපායෙන් සංගීතය ඉගෙන ගත්තෙ සංගීත් නිපුන් පී.වී නන්දසිරි සර් යටතේ. ඒ වගේම පාසල් කාලෙදී අපට උගන්නපු සංගීත ටීචත් ලොකු සහයෝගයක් ලබා දුන්නා.

එතනින් පසුව තමයි මම ඉන්දියා ගියේ. ඒ 2000 වර්ෂයේදී. ඒ ගිහින් ලක්නව් පරම්පරාවෙ ඔස්තාරි ඉල්මා හුසේන් ඛාන්ගෙන් ඉගෙන ගත්තෙ. අවුරුදු 8ක් සංගීතය හැදෑරුවා. සංගීත් නිපුන්, බැචුලරි ඩිග්‍රි සහ මාස්ටර් ඩිග්‍රි අරගෙන තමයි ලංකාවට ආවෙ.

 

පොඩි කාලෙ ඉඳන්ම සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තු වුණේ?

ඔව්, පාසල් යන කාලෙ ඉඳන්ම මම සංගීතයට නැඹුරුයි. කලා කටයුතුවලට බැහැලම වැඩ කළා.

 

ඒ දවස්වලත් පේෂල පාසලේ ජනප්‍රියයිද?

ඔව්, එහෙම දෙයක් තිබුණා හැමෝම මාව දන්නවා.

 

මේ හැමදේ එක්කම ඔබ දැන් නිවේදනයටත් ඇවිල්ලා ඉන්නවා නේද? කොහොමද ඒ අත්දැකීම.

ඒකත් වෙනම දෙයක්. එහි වෙනම පැත්තක් තියෙනවා. අපි ඇත්තටම ප්‍රොෆෙෂනල් එනවුසර්ස්ලා නෙමෙයි. අපි රූපවාහිනියෙ වැඩසටහනක් කරන ප්‍රසන්ටර්ස්ලා. ප්‍රොෆෙෂනල් එනවුසර්ස්ලා කියන්නෙ වෙනම කොටසක්නෙ. එතන මම නෑ. මම මේ කරන්නෙ විනෝදකාමී වැඩසටහනක් පමණයි. එහි මම ප්‍රසන්ට් කරනවා. මගෙ සාමාන්‍ය ඉන්න විදිය තියෙනවනෙ. ඒ විදියම තමයි කැමරාව ඉදිරියෙ තියෙන්නෙත්.

 

එහිදී ඔබ එම වැඩසටහන ඉදිරිපත් කිරීමේ වෙනසක් දකිනවා. ඒ සඳහා සහභාගී වෙන කලාකරුවන් බයිට් කරනවා. කොහොමද ඒ අවස්ථාවට ගැළපෙන විදියට ඔබේ කටට ඒ වචන එන්නෙ?

ඒවා ඉතින් කොහොම එනවද කියන්න දන්නෙ නෑ. ඉස්කෝලෙ කාලෙදි යාළුවො එක්ක ඉද්දි කතා කරපු දේවල් තමයි ඉතින් “ඔටෝ” කටට එන්නෙ.

 

අනිත් අය බයිට් කරන පේෂලත් වෙලාවකට හොඳට බයිට් වෙනවා නේද?

ඔව් ඔව්, ගල්පාරවල් ටිකක් අපිටත් එනවා.

 

ඔබ වෘත්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්නෙ. ඉතින් ඔබ මේ විදියට වේදිකාවෙ හැසිරෙන විදිය සුදුසුයි කියලා හිතෙනවද?

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කොහොමද? ඉන්න ඕනෑ කියලද සාමාන්‍යයෙන් සම්ප්‍රදායේ තියෙන්නෙ

 

ළමයින්ට ආදර්ශමත් වෙන්න ඕනෑ නේද?

මම හිතන්නෙ නෑ අපි කතා කරන සමහර වචනවලවත් වැරැද්දක් තියෙනවා කියලා.

මොකද අපි කතා කරන්නෙ ජීවිතේ සාමාන්‍ය වචන. අපි අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නෑනේ. විශ්වවිද්‍යාලවල ආචාර්යවරු කියලා ඔක්කොම සංස්කෘත කතා කරන්නෙ නෑනෙ. මෙහෙමයි, අපි ආදර්ශමත් වෙන්න ඕනෑ මම හිතන විදියට අපි කරන වැඩවලින්.

 

පේෂලට “චැම්පියන් ස්ටාර්” වැඩසටහනට විවේචන එල්ලවෙනවා නේද?

විවේචන තියෙනවා. මේවට මල් විතරක් නෙමෙයි. එක එක්කෙනා නොයෙකුත් කතා කියනවා. ඒ වැඩසටහන මෙහෙයවන අනිත් නිවේදිකාව සචිනිගෙ අතින් අල්ලනවා වැඩියි. ඒ වගේ චෝදනා ගොඩක් තියෙනවා. ඇත්තටම කියනවානම් ඒ වැඩසටහනට එන අය සචිනිලා අපේ සහෝදරියො වගේ.

අත අල්ලගෙන කතා කරනවා කියන්නෙ ඇත්තටම මගේ නම් පුරුද්දක්. වයසක මනුස්සයෙක් හමුවුණත් කරට අත දාලා කොහොමද කියන එක අහනවා. මම මාර හොඳයි කියලා නෙමෙයි මේ කියන්නෙ. මම ගොඩක් ලෙංගතුකමකින් කතා කරන්නෙ. ඒක සමහර අය එක එක විදියට දකිනවා. ඒක මට අදාළ නෑ.

 

ඇත්තටම ඔබ ඒ වැඩසටහනේ ප්‍රසිද්ධියේම ගෑනු ළමයිගෙ අත්වලින් අල්ලගෙන ඉන්නවනෙ? ඒක වැරදි නෑ කියලද පේෂල කියන්නෙ?

අපි බලන්න ඕනෑ කැමරාව ඉදිරියෙ නෙමෙයි. කැමරාව පිටිපස්සෙ මොකද කරන්නෙ කියලා

කැමරාව ඉස්සරහ ප්‍රසිද්ධියේ ඇවිල්ල මනුෂ්‍යයෙක් මොකුත් කරන්නෙ නෑ. ඕනෑම කෙනෙක් ගොඩක් තැන්පත් විදියට හැසිරෙන්නෙ. ඒත් කැමරාවෙන් අයින් වුණ ගමන් කැමරාවෙ පිටුපස සිට මොකද කරන්නෙ කියන එකයි තේරුම් ගන්න ඕනෑ.

 

ඒ කියන්නෙ පේෂල කියන කෙනා කැමරාව ඉදිරිපිට සහ පසුපස දෙකම එක විදියටද හැසිරෙන්නෙ?

ඔව්, අනිවාර්යෙන්ම. ඒ දේ ඕනෑම කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්.

 

සමාජය මොන කතා කිව්වත් පේෂලට ප්‍රශ්නයක් නෑ.

මට අදාළ නෑ. අපි බෞද්ධ මිනිස්සුනෙ. බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නෙ තමුන්ට කව්රුහරි නින්දාවක් හරි ප්‍රශංසාවක් හරි කරනවානම් තමුන් බලන්න ඕනෑ ඒක තමුන්ට අදාළයිද කියන දේ. මිනිස්සු බලන විදියෙ තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. අපිට ඕවා කරන්න ඕනෑ නම් කැමරාව ඉදිරියෙ කරන්න ඕනෑ නෑ. ඒවා කරනවානම් කැමරාව ඉස්සරහ හික්මීමක් ඇති පුතෙක් වෙලා පිටිපස්සට වෙන පුතෙක් වෙන්නත් පුළුවන්නෙ. ඒ නිසා මට ඔය කියන කරන දේවල් අදාළ නෑ.

අපි හරියට ජීවත් වුණොත් කව්රුත් නෙමෙයි අපිට එහි ප්‍රතිඵල ලබාදෙන්නෙ උඩ ඉන්න දෙවියො. මම විශ්වාස කරනවා කර්මය කියන දේ මිනිස්සු කරන කියන දේ මත කැරකිලා එනවා කියලා.

 

ආගම දහම ගැන කතා කරපු නිසා දැනගන්න කැමතියි ඒ වෙනුවෙන් තියෙන ලැදියාව කොහොමද කියලා?

ආගම, දහම ගැන අපිට ලොකු ලැදියාවක් තියෙනවා. මම පොඩි කාලෙ ඉඳන්ම දහම් පාසල් ගියා. ඒ වගේම පුළුවන් හැම වෙලාවකම පන්සල් යනවා. ඉඳලා හිටලා දළදා මාලිගාව ආදී ස්ථානවලට ගිහින් වැඳ පුදා ගන්නවා. බෞද්ධයෙක් විදියට හොඳම දේ තමයි බුදුන් අදහන එක. නැතිව මල් පහන් පමණක්ම පූජා කරලා විතරක් වැඩක් නෑ.

 

ඔබ බෞද්ධයෙක් විදියට පන්සිල් පද කීයක් රකිනවද?

මෙහෙමයි අපි බෞද්ධයො විදියට පන්සිල් පද පහම රැකෙන්නෙ නෑනෙ. අපි කන බොන දේවල්වලින් රැකෙන්නෙත් නෑ. පාටියකට ගියොත් පොඞ්ඩක් බොනවා. නමුත් ඉතින් අනුන්ගෙ දේවල් ගන්නෙ නෑ. ඉතින් සුරාව ටිකක් ගත්තොත් එතන සමාජය ටිකක් අවුල් වුණොත් එහිදි සුරාමේරය වගේම කාමය වරදවා හැසිරිමකුත් වෙනවා. කාමය වරදවා හැසිරෙනවා කියන්නෙ ගෑනු එක්ක යනවම කියන එක නෙමෙයි. තව තියෙනවා සමාජයේ හැදුණු නීති. ඉතින් මම පුළුවන් තරම් පන්සිල් රකිනවා. ඒ දේවල් මොනවද කියන්නත් බෑ.

 

එතකොට පේෂල දැන් යන තැනකට දෙයක් කරගෙන තියෙනවද?

තව කොහෙද අනේ. කරගෙන යන්න ඕනෑ. මේ ආත්මෙ මේ දේවල් හම්බවෙලා තියෙන්නෙ ඉස්සර කරපු දේවල් එක්ක. මේ ්ජජදමබඑ එකේ සල්ලි ඉවර වුණාම මොකද කරන්නෙ? ආයෙත් පුරවගන්න ඕනැනෙ නේද?

 

පේෂලට ගීතයක් කරන්න අදහසක් නැද්ද?

ගීතයක් කරගෙන යනවා. 2017 වසරෙ තනිකරම සංගීත වැඩකටයුතු කරන්න තමයි 90% බලාපොරොත්තු වෙන්නෙ.

 

● අඬන සින්දු ්‍යසඑ වෙන කාලෙ පේෂලටත් අඬන්න හිතිලා නැද්ද?

අපෝ නෑ. අපි රැල්ලට යන්නෙ නෑනෙ. රැල්ලට ගියා නම් කවදාවත් ඉන්දියාවෙ ගිහින් ඉගෙන ගන්නෙ නෑනෙ. අපි රැඩිකල් කියනවා නෙමෙයි. ඒත් මම ආසයි ක්‍රියේටිව් දේවල්වලට.

අනිත් අය ඇඬුවා කියලා ඇයි මම අඬන්නෙ? මට පිස්සුයැ. අඬන කට්ටිය ගවුම් ඇඳන් ගියොත් අපිත් ගවුම් අඳින්න ඕනැද? නෑනෙ නේද?

 

මේ ඇවිල්ලා ඉන්න ගමන ගැන තෘප්තිමත්ද?

ඇවිල්ලා ඉන්න ගමන හොඳයි. ප්‍රශ්නයක් නෑ. මම 2010 ලංකාවට ආවට පස්සෙ අවුරුදු 7ක් ඇතුළත කරගත්තු ටික හොඳටම ඇති, අපේ ගුරුවරු අපිට උගන්නපුවට පිංසිද්ධ වෙන්න.

 

දේශපාලනය ගැන පේෂලට මොකද හිතෙන්නෙ?

දේශපාලනය කියන්නෙ කුණු ගොඩක්නෙ. අපේ රටවල්වල එක්කෙනෙක්වත් ඉමෝෂනලි බ්ලැක්මේල් කරනවා ඇරෙන්න මිනිස්සුන්ට සහනයක් දෙන්නෙ නෑ. මේ රටේ මිනිස්සුන්ට දෙයක් කරන්න ඕනෑ, ඒවා නෑ. හැම දේශපාලනඥයෙක්ම බලන්නෙ තමන්ගෙ සුව පහසුව පමණයි. සමහර දේශපාලනඥයන්ට තමුන්ගෙ පවුල්වල මිනිස්සු පාලනය කරන්න බැරිවෙලා තියෙනවා. දේශපාලනඥයන්ගෙ පුත්තු තමන්ගෙ තාත්තට පාලනයක් නෑ. ඉතින් එහෙම බැලුවම කොහොමද රටක් පාලනය කරන්නෙ.

 

එතකොට පේෂල කැමති දේශපාලන චරිතයක් ඉන්නවද?

මම කැමතියි සහ ඇත්තටම පොඩි කාලෙ ඉඳන්ම දැනුණු චරිතයක් තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඔහුට කැමතිවෙන්න එක් හේතුවක් තමයි ඔහු කලාව වෙනුවෙන් ලොකු සේවයක් කළා. කලාකරුවන්ට හදලා දුන්නු ගෙවල් ටිකම ඇති. මාලිගාවත්ත ෆ්ලැට් එක සහ කලාපුරය. එල්ෆින්ස්ටන්, සරසවිපාය ඒ හැමදේම.

ඒ සුපිරි ගණයෙ කලාකරුවො ගොඩක් උගන්වපු තැනක්. ඉතින් ඒ වගේ තැන් හදලා ලොකු සේවයක් කළා. ඔහුට හොඳ දැක්මක් තිබුණා. ඒ නිසා ඒ චරිතෙට මම ගොඩක්ම කැමතියි.

 

පේෂලට රඟපාන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවද?

මට රඟපාන්න කතා කළා. ඒත් ගොඩක් ඒවට බෑ කියලා කිව්වා. මොකද අපි නළුවො නෙමෙයිනෙ අනේ. ඒත් මගෙ මිත්‍රයෙක් වන දේවින්ද කෝන්ගහගේ මට කතා කරලා කිව්වා චරිතයක් තියෙනවා ඒක අනිවාර්යයෙන්ම කරන්න එන්න කියලා. ඒ වෙනුවෙන් සහභාගි වෙන්න කියලා මට ජගත් වික්‍රමසිංහ මහත්තයත් කිව්වා. ඒ නිසාම ඉතින් මම ඒ චරිතය භාරගත්තා. ඒත් ඉතින් මට රඟපාන්න නම් බෑ. ඒ වැඬේ මේ දවස්වල කරගෙන යනවා.

 

විලාසිතා ගැන මොකද හිතෙන්නෙ?

විලාසිතා ගොඩක් හොඳයි. ගැහැණු පිරිමි වෙනසක් නැතිව කරන්න ඕනෑ.

 

පේෂල කැමති විලාසිතාව?

මම කැමති එකක් කියලා නෑ. මට ගැළපෙනවා කියලා හිතෙන ඕනෑම විලාසිතාවක් කරනවා.

 

හැමෝවම බයිට් කරන පේෂල මනෝජ් එක්තරා වැඩසටහනකදී හොඳටම ඇඬුවා කියලා ආරංචියක් ආවා. ඒ මොකද?

ආ.... ඒ ටීවී වැඩසටහනකට ගිහින් ‘අම්මයි මමයි’ කියලා. දෙමව්පියො ඉස්සරහ ඔවුන් ගැන කතා කරද්දි කොහොමත් අපි කව්රුත් සංවේදී වෙනවනෙ.

 


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)