රංවල බලකායෙන් ගායන ලොව‍ට පිවිසි උමන්දා
Jan 09, 2017 09.48am

කිරි කවඩි සුදට වැඩියෙන්
මුතු කඳුළු බිංදු පරදන්
ඔබට පිදූ මගෙ කුළුඳුල්
සෙනෙහස මෙතරම්
දරාගන්න බැරි නම්
එපා තවත් සරදම්
හරි අහිංසකයි මං

මේ; රිදම් FM, ශ්‍රී FM, ලක්හඬ වැනි ගුවන් විදුලි නාළිකාවලින් මේ දිනවල නිතර ඇසෙන ගීතයක මුල් පද කීපයකි. ඉඳුනිල් වීරරත්න රචනා කොට ඇති මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ නිමල් ගුණසේකර විසිනි. මෙම මියුරු ගීතය ගයන ගායිකාව යොවුන් ගායන ශිල්පිනී උමන්දා සඳනි ය. උමන්දාගේ ගීත කීපයක් ම මේ දිනවල ගුවන් විදුලි නාළිකා තුළින් ශ්‍රවණය කළ හැකි ය. එසේ ම උමන්දා මේ වනවිට ගම්පහ, යක්කල වැනි ප්‍රදේශවල පැවැත්වෙන සංගීත ප්‍රසංගයන්හි ඉතා ජනප්‍රිය ගායිකාවක බවට පත්වී ඇත. ‘රසඳුන’ වෙනුවෙන් අපි උමන්දාගේ සංගීත දිවිය පිළිබඳව තොරතුරු විමසා සිටියෙමු. මේ ඇය අප වෙත පළ කළ අදහස් ය.

“මගේ ගම යක්කල. පාසල් ගියේ කැප්පෙටිපොළ මහා විද්‍යාලයට. පාසල් යන කාලේ ඉඳලම සංගීතයට නර්තනයට ඉතාම කැමැතියි. පාසලේදී විෂයක් ලෙස ඉගෙන ගත්තේ නර්තනය. උඩරට නැටුම් වලටයි වැඩියෙන් ම ප්‍රිය කළේ. ඒ අතරේ පාසල් වේදිකාවේ ගීත ගායනයටත් යොමු වුණා.‍ සංගීතයට ඇති කැමැත්ත නිසා ම ‘රංවල බළකාය’ කණ්ඩායමට සම්බන්ධවෙලා විවිධ ආකාරයේ ප්‍රසංගවලට සහභාගි වුණා. ගම අවුලඤ්ඤං ප්‍රසංගය ඉන් විශේෂයි. සිංහල අවුරුදු සමයේදී වසර කීපයක් ම රංවල බළකාය සමඟ රූපවාහිනී වැඩසටහන්වලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුණු ගම අවුලඤ්ඤං ප්‍රසංගය මගේ කලා ජීවිතයට විශේෂයි.”

“පාසල් අධ්‍යාපනයෙන් පසුව සම්පූර්ණයෙන් ම සංගීතය ඉගෙන ගන්න මගේ කාලය කැප කළා. මේ දවස්වල සංගීත විශාරද ගායන අංශයේ විභාගයට මම සූදානම් වෙනවා. විෂයක් ලෙස සංගීතය දිගටම හදාරන්නයි මගේ බලාපොරොත්තුව. මේ වනවිට සංගීතය උගන්වන ගුරුවරියක් ලෙස ජාත්‍යන්තර පාසලක සේවය කරනවා. ඒ අතරේ ප්‍රසංග වේදිකාවල ගායිකාවක් ලෙසත් ගීත ගයනවා. මේ වනවිට මගේ ම ගීත 5 ක් පමණ නිර්මාණය කර ගෙන තියෙනවා. එම ගීත රචනාකර තිබෙන්නේ, ආරාධනා ඒකනායක, ඉඳුනිල් වීරරත්න,ආලෝක බණ්ඩාර, මැණික් ජයසේකර වැනි ගීත රචකයින්. නිමල් ගුණසේකර,, ප්‍රියන්ත නාවලගේ, ලස්සන ජයසේකර, නිසාන් ගුණසිංහ වැනි සංගීතඥයින් එම ගීත සංගීතවත් කර තිබෙනවා.”

“පාසල් යන කාලයේත් මම වැඩියෙන් ම ගායනා කළේ සුජාතා අත්නායක, ශානිකා නිසංසලා, සුභානි හර්ෂනී, උරේෂා රවිහාරි වැනි ශිල්පිනියන්ගේ ගීත. අදත් මම ඔවුන්ගේ ගීත වලට කැමැතියි; ඔවුන්ගේ ගායනා ශෛලීන්වලට කැමතියි. එම ගායන ශෛලීන් වලින් යමක් ඉගෙන ගෙන මගේ ම ශෛලියකින් ගීත ගැයී‍මයි මගේ ආශාව. ඉදිරියේදී ගායිකාවක ලෙසත්, සංගීත ගුරුවරියක ලෙසත් සමබරව මගේ වැඩකටයුතු කරගෙන යන්නයි බලාපොරොත්තුව. මගේ අම්ම තාත්තත් මල්ලිත් ඥාතීනුත් මගේ ගායන ජීවිතයට ගොඩක් උදව් කරනවා.”


(අද දෙරණ ඇසුරෙනි)

Ads here
340 x 60
Rs. 10000/-