ප්‍රින්ස්‌ට ආයෙත් අමාරුයි...
Jan 08, 2017 09.47am

පාසල් ගිය කාලයේදීම එක්‌තරා සිසුවියක්‌ තම පන්තියේම පිරිමි ළමයෙක්‌ උදේට පාසලට එනතුරු පන්ති කාමරයට වෙලා හැම දවසකම බලා හිටියා.

ඔහු පැමිණි ගමන්ම ඇගේ වත පුරාම ලස්‌සන කෝපි මල් හිනාවක්‌ ඇඳී ගියා. මුවේ ඇඳුණු හිනාවත්, හිතේ හිරවුණු හැඟීමත් වචන බවට පෙරළුණේ නැහැ.

ඒ හිනාවට ඉදිරිපත් වෙන්න හෝ හිනාව තේරුම් ගන්න තරුණයාට පුළුවන් කමක්‌ තිබුණේ නැහැ.

ඇය ඔහුට හුඟාක්‌ ආදරෙන් හිටි වග තේරුම් ගන්න කොට කාලය හුඟාක්‌ දුර ඈතට පියඹාගොස්‌ තිබුණා.

ඊට පස්‌සේ තවත් කාලයක්‌ ගිහින් ගමේම තරුණියකට තම කුළුඳුල් හිත පුදදී ආදරය කළා. දෙදෙනාම තේරුම් ගත්තු බොළඳ නොවුණු සංකර නොවුණු ඒ සැබෑ ආදරය අවුරුදු තුනක්‌ විතර ඉදිරියට ඇදුණා. ජීවිතයේ ගැටලු විරෝධතා මැදින් ඇදුණු ඒ ආදරය මැද තම දෙමාපිය බහටද කීකරු වෙන්නට ඒ තරුණයාට සිදුවුණා. එක්‌තරා නිසල සැඳෑවක දැස්‌ තෙමන කඳුළු ගංගා මැදින් ඒ ආදරයට සමුදී වෙන් වන්නට මේ නිර්මල පෙම්වතුන් තීරණය කළා.

ඒ අනුව ප්‍රථම ප්‍රේමාදර කතා දෙක ඉදිරියේදීම ඔහු පරාජිතයෙකු බවට පත්වුණා.

ඔබ හා ගෙවූ ගෙවූ අතීතේ-මාගේ හිතේ රැඳේවී

අපගේ පැතුම් නිමාවී-දෙහදක්‌ දුකින් තැවේවී

අප දෙදෙනා වටලා-මුරකාවල් දමලා

ඔබ හමු වේවිදොa මා කෙසේ

ඇය ගැන දුක්‌බර අතීතය ගීපද වැලක්‌ ලෙස ඔහුගේ මුවින්ම පසු කාලයකදී ගැයෙන්න වුණා. ඔහු අසහාය ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්තයන් ලෙසිනුයි රට හඳුනා ගත්තේ.

"වෙරළ කොණක හිඳ බලා හිඳින්නෙමි-ඔබ එන මඟ මා පවන් සැළී

පෙර දිනයක අප හමුවූ තැන ඉඳ-වෙන්වන්නට මුණ ගැසෙමු යළි

කිසිදාක වැළලිය නොහැකි ඒ විරහ වේදනාව ඔහු මිමිණුව හැම ගීයකම පද වැල් පුරාවටම රැඳී තිබුණා. ආදරය පුදන, ආදරය යදින තරුණ රසිකාවියන් ඇයට දසත මුණ ගැසුණෙත් ඇය වෙනුවෙන් ඔහු වෙන් කළ හද පුදසුන මත වූ හිස්‌ බව නොවෙනස්‌වම පැවතුණා. මැදිවිය 46 වියෑති ඔහු අදටත් තනිකඩයෙක්‌.

එදා ප්‍රින්ස්‌ගේ කට හඬ ඇසුණු සැණින් ගීතයක්‌ රස විඳි පමණින් සිත් සතන් සනහාගත් ලක්‍ෂ ගණනක ජනතාව වෙත අද පීඩාවෙන් සිතත් ගතත් ගිලන්ව යළිත් ජීවිත වාරුව හොයමින් සිටින ඔහු වෙනුවෙන් කළ යුතු යුතුකම පිළිබඳව කතාන්දරයකි මේ.

ජාතික තරුණ සේවා සභාව යටතේ යොවුන් ගී කණ්‌ඩායම නියෝජනය කරමින් එහි ලාබාලතම ගායක ශිල්පියා ලෙසට වාර්තාගත ලෙස එම දස්‌කම ඔහු සිදුකළේ 1992 වසරේදී. එවිට ඔහුගේ වයස අවුරුදු 22 කි. අද ඔහුට වයස අවුරුදු 46 ක්‌ වී තිබේ.

දිගු කලා ගමනක 23 වසරක්‌ම අපරාජිතව සිටි ප්‍රින්ස්‌ව පසුගිය වසරක්‌ පුරාවට හදිසියේ අත්වූ ඉරණම මේ වන විටත් කිසිවෙකුට අලුත් පුවතක්‌ නොවේ.

හොඳින් සිටි ප්‍රින්ස්‌ට හදිසියේම විෂ බීජයකින් මොළයේ ඇතුළු අභ්‍යන්තර රෝග තත්ත්වයක්‌ මත අකර්මණ්‍ය තත්ත්වයට පත්ව කිසිදු සිහි කල්පනාවක්‌ හෝ කතා නොකරන මට්‌ටමකට පත්වීමෙන් රෝහල්ගතව දීර්ඝ කාලයක්‌ ප්‍රතිකාර ගැනීමට සිදුවිය.

පසුගිය දිනවලදී ප්‍රින්ස්‌ව යම් සුව මට්‌ටමකට පත්වී සිටින බවත් ඔහු දැන් යම් යම් දේවල් මතකයට නඟා ගන්නා බවත් නිවසේ එහා මෙහා ඇවිදිමින් කටයුතු සිදුකරන බවත් එහෙන් මෙහෙන් කන වැටුණු නිසාම ඒ සුබදායී පුවත ගැන අලුත් තොරතුරු දැන ගැනීමේ අටියෙන් "දිවයින" අපි නවදගල, සිරිපුර ප්‍රදේශයේ ඔහු පදිංචි නිවස සොයා ගියෙමු.

එය එසේ වී නමුදු මේ අවස්‌ථාව වන විට ඔහු ගැන අපට කියන්නට සිදුව ඇත්තේ ඔහුගේ සුවය පිළිබඳ පුවත නම් නොවේ. ප්‍රින්ස්‌ නැවතත් පෙර සිටි රෝගී තත්ත්වයට පත්ව නවලෝක රෝහලේ ඉතා අසීරු මට්‌ටමක ප්‍රතිකාර ලබමින් සිටින බවට වූ දුක්‌මුසු පුවතයි.

ඔහු හදිසියේම නිවසේදී සිහි විසඥ තත්ත්වයට පත්වී ඇත. හදිසි ප්‍රතිකාර ලබා දුන්නද ප්‍රකෘති තත්ත්වයට පත් නොවීමත් සමග එදිනම රෝහල්ගත කිරීමට සිදුවූ බව ඔහුගේ එකම සොයුරිය ප්‍රකාශ කළාය.

ඇය ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දුය (44) ප්‍රින්ස්‌ පාසල් යන අවධියේදීම පියා මියගිය අතර මවද මීට වසර 5 කට පමණ පෙරදී මියගිය පසුව අවිවාකයෙකුද වන ප්‍රින්ස්‌ට මවක්‌, පියෙක්‌ මෙන් සියලු කටයුතු ඉටු කරන්නට වී ඇත්තේ ඇගේ එකම නැගණිය වූ ශිරෝනිටය.

දැනට වසරක්‌ තිස්‌සේ කරාපිටිය, නවලෝක රෝහල තුළ නේවාසිකවද නිවසේද ප්‍රින්ස්‌ අසලම රැඳී සිටිමින් ආහාර පාන, බේත් ඖෂධ හරි වේලාවට ලබා දෙන්නට පමණක්‌ නොව ඔහුගේ කොතෙකුත් හෙද අවශ්‍යතා ඉටු කිරීමෙන් ඇය කර ඇති කැපවීම හා වෙහෙසට පත්වීම සුළු පටු නොවේ.

අයියාව මේ අවුරුද්දේ ස්‌ටේඡ් නග්ගන්න තමයි මං කොහොම හරි උත්සාහ ගත්තේ. අයියා අසනීප වුණත් සංගීත සංදර්ශනවලට පසුගිය කාලේත් කෝල් ආවා. ඒත් ඉතින් එයා ඉන්න තත්ත්වය මං ඒ අයට කිව්වා. ඒත් මං කෝකටත් ලබන අවුරුද්දේ අප්‍රේල් මාසයෙන් පස්‌සේ මියුසිකල් 4 ක්‌ දැනට භාර ගත්තා.

ශිරෝනි එදා ඒ අපට කී කතාව ප්‍රින්ස්‌ යම් සුව මට්‌ටමක සිටි බවට මනා සාක්‍ෂියකි.

ප්‍රින්ස්‌ නැවතත් රෝහල්ගත කොට මේ වනවිට ගෙවී ඇත්තේ දින 7 ක්‌ පමණකි. ඒ වෙනුවෙන් හැකි සෑම උත්සාහයක්‌ වෙනුවෙන්ම තමන් තවදුරටත් කැපවන බවද එහෙත් ඉතිරිකරගත් මුදල් හා දේපළද අද අහිමිවී ඇති බැවින් මාධ්‍යයේ මෙන්ම විවිධ මට්‌ටමේ සහයෝගය අයියා වෙනුවෙන් යළිත් ඉල්ලා සිටින බවද ශිරෝනි මහත්මිය සඳහන් කර සිටී.

රසික පරිත්‍යාගශීලී ඔබ ලබාදෙන සුළු හෝ උපකාරය හෙට දවසේදී ඔහුගේ ජීවිතය දකින්නට දරන සියලු උත්සාහයන් වෙනුවෙන් වැය කෙරෙනු ඇත.

ඒ සඳහා ඔහුගේ නැගණිය එස්‌. පී. ප්‍රනාන්දු නමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇල්පිටිය ශාඛාවේ ඇති අංක 1-0094-88-03862 දරන ගිණුමට හෝ කොමර්ෂල් බැංකුව ඇල්පිටිය ශාඛාවේ ඇති අංක 8103017799 දරන ගිණුමට හෝ මුදල් බැර කළ හැකිය.



(ලංකාදීප පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60