අවුරුදු දහසයකට පස්‌සේ අපේ හීනය හැබෑ වුණා...
Jan 08, 2017 09.44am

අර බලන්න අර ඈත කෙළවරකට වෙලා අපි දිහාම බලාගෙන ඉන්න හඳ දිහා. ඉස්‌සරම ඉස්‌සර කාලෙක අපි දෙන්න මුණගැහුණ අලුතම වගේ අපි අපිට ආදරෙයි කියල දැනගත්තම අලුත්ම එක හැන්දෑවකත් ඔය විදිහටම අපි දෙන්න දිහා බලාගෙන හිටියා. ඔයාට නොකිව්වට මම එදා ඔයාගෙ මුහුණ කියලා ඒ හඳටම රැවටුණත් එක්‌ක මට එදානම් හඳත් එක්‌ක තරහ වෙන්නත් හිතුණා. ඒත් එක දවසක මම තනියම මෙතනට ආපු දවසක මට හඳ කියල දුන්න ආදරයයි හඳයි අතර තියෙන අපූරු සබඳතාව ගැන. එදා ඉඳන් කවදාකවත් මට හඳත් එක්‌ක තරහ වෙන්න බැහැ. හරියට ඔයා එක්‌ක වගේ. හඳක්‌ වගේ සෞම්‍යවන්ත පිරිපුන් ආදරයකට අයිතිකාරි වොල්ගා කල්පනී ජීවිතයේ අතිශයින්ම සොඳුරු ඉසව්වකදී දිනාගත් ආදර කතාවත් අරගෙන ආදර හැන්දෑවට ගොඩවුණේ අලුත් අවුරුද්දක්‌ උදාවෙලා පැය කිහිපයක්‌ ගතවෙද්දි. ඇය හිටියෙ කතරගම පූජා භූමියේ ඒ හඳත් එක්‌ක නෙවෙයි. ඇය දිනාගත්ත ආදරණීය හදවතත් එක්‌ක.

වොල්ගාට හර්ෂණව මුණගැහෙන්නේ ?

මීට අවුරුදු දාහතකට කලින්. එතකොට මම ඉස්‌කෝලේ හතර වසරේ. හර්ෂණ අයියා පහ වසරෙ විතර හිටියේ.

වොල්ගයි හර්ෂණයි එකම පාසලේ එකම ගම් පළාතේ වෙසෙන අය වුණ නිසාද මේ හඳුනාගැනීම සිද්ධවුණේ ?

නැහැ. මාධ්‍ය හා කලාව තමයි අපිව මුණගැස්‌සුවේ. මම ඒ කාලේ රූපවාහිනියේ අතුරු මිතුරු වැඩසටහන්වලට යනව. හර්ෂණ අයියා මුතුහර වැඩසටහනට එනවා. අපි අතුරු මිතුරු ඉවරවෙලා මුතුහර වැඩසටහනටත් එක්‌ක යනවා. ඒ විදිහට තමයි අපි හඳුන ගත්තේ.

බාලවියේම ආදර කතාවටත් මුල පිරුවද ?

නැහැ. මම එයාගේ වගේම එයත් මගේ හොඳම යාළුවෙක්‌ වුණා. මාසෙකට සැරයක්‌ විතර දුරකතන ඇමතුමක්‌ දීලා හරි එයා මගෙ තොරතුරු හොයා බැලුවා. ඔය විදිහට මගේ ජීවිතයේ හැම දුකක්‌ සතුටක්‌ම එයා එක්‌ක බෙදාගන්න මම පුරුදු වුණා. අපේ ආදර කතාව පටන් ගත්තෙ අපිටත් රහසෙමයි.

වැඩිහිටි පාර්ශ්වයන් මේ බැඳීම හඳුනාගෙන හිටියද ?

ඔව්. මගේ තාත්තා මට කිව්වෙ පුතේ ඔයාට සතුටින් ජීවත්වෙන්න පුළුවන් දේවල් එක්‌ක ජීවිතයට මුහුණ දෙන්න කියලයි. අපිව දොස්‌තරල ඉංජිනේරුවෝ කරන හීන ඔවුන්ට තිබුණේ නැහැ. අපේ ජීවිතවල අපේ සතුටට මුල්තැන දුන්න හර්ෂණ අයියගේ දෙමවුපියොත් වොල්ගා කියන කෙනාව හොඳින් හඳුනනවා. අපේ ඇසුරට ඒ දෙපාර්ශ්වයෙන්ම තහංචියක්‌ ඇතිවුණේ නැහැ.

ඒ කියන්නෙ බාධකවලින් තොරව ගලාගෙන ගිය ආදර කතාවක්‌ ?

අපොයි බාධක නම් ආවා. ඒ හර්ෂණ අයියගේ පැතිතෙන් නෙවෙයි. මගේ පැත්තෙන්. අපි අවටම ඉන්න ඉරිසියාකාර චරිත මම කවුද කියල හර්ෂණ අයියාට කියල දෙන්න උත්සාහ කළා. නමුත් හර්ෂණ අයියා එයාලට වඩා මම ගැන දැනගෙන හිටියා. ඒ නිසා ඒ බාධකවලින් අපේ ආදර කතාව නම් නතර වුණේ නැහැ.

ඔබලාගේ ආදර කතාව ඇරඹුමේ ඉඳන්ම කලා ලෝකයේ ප්‍රකට ප්‍රේම කතාවක්‌ද ?

නැහැ. මුල් කාලයේ කලා ලෝකයේ කිසිම කෙනෙක්‌ අපි දෙන්නා ප්‍රේමවන්තයෝ කියල දැනගෙන හිටියේ නැහැ.

ඔහු ගැළපෙනම පෙම්වතා ලෙස ඔබට දැනෙන්නෙ?

හර්ෂණ කියන්නෙ මාව සියයට දාහක්‌ම තේරුම් ගත්ත කෙනෙක්‌. එයාට මා ගැන තියෙන විශ්වාසය මගේ දක්‍ෂතාවන්ට එයාගෙන් ලැබෙන ඉඩකඩ මට හරියට වටිනව. ඒ විතරක්‌ නෙවෙයි අනාගතය ගැන අනාවැකි කියන්න බැරි මේ දක්‌වා එයා මට වැරැද්දක්‌ වෙන දෙයක්‌ කරල නැහැ. ඒ දේවල් ටික ඇති අපිට ජීවිත කාලයක්‌ම සතුටින් ඉන්න.

ලැබුණ ප්‍රථම ආදර තෑග්ග මතකද ?

එයා මට ඔඩෙල් එකෙන් ගත්ත බ්‍රේස්‌ලට්‌ එකක්‌ තෑගි දුන්න.

දෙන්නට දෙන්න ආමන්ත්‍රණය කරන ආදර හැඳින්වීම් මොනවද ?

ඉස්‌සර නම් මම වොල්ගා නංගිනෙ. එයා හර්ෂණ අයිය. දැන් එයා මට කියන්නෙ මැණික කියල. මම නම් එක එක නම් කියනව.

ආදරයට අඬදබර ගොඩවදින්නෙම නැත?

ඇයි නැත්තෙ අපි දෙන්න රණ්‌ඩුවෙනවා. හර්ෂණ අයියට ඉක්‌මනින් කේන්ති ඇවිත් ඉක්‌මනින්ම තරහ නැතිවෙනව. කෑම බීමවල හොඳ නරක යන එන ගමන් බිමන්වල එකඟතාවන් ගැන තමයි පුංචි පුංචි රණ්‌ඩු ඇතිවෙන්නෙ.

කාලයක්‌ තිස්‌සෙ හඳුනාගෙන ආදරය කරල ජයගත්ත ආදර කතාවේ මල් පිපුනම දැනෙන හැඟීම මොන වගේද?

අපි හඳුනාගෙන අවුරුදු දාසයකට පස්‌සෙ 2016 අගෝස්‌තු දහවැනිදා අපි විවාහ වුණා. අපි දෙන්නම ගොඩත් සල්ලි තියෙන අය නෙවෙයි. ඒත් අපි දෙමවුපියන්ට බරක්‌ වෙන්නෙ නැතිව අපේ උත්සාහයෙන් ලස්‌සනට විවාහ උත්සවයක්‌ ගත්ත. මේ වෙත්දි අපිට තවත් හීන ගොඩක්‌ තියෙනව. අපිටම කියල ගෙයක්‌ හදාගෙන අපිටම කියල ව්‍යාපාරයක්‌ පටන් අරගෙන ජීවිතය ලස්‌සනට ගෙවන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නව.



(ලංකාදීප පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60
Rs. 10000/-